ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන උපාලි කොඩිකාර මහතාගේ අත්පත්‍රිකා පන්නිපිටිය, කනත්ත පාර, ප්‍රගති මාවතේ බෙදමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහරගම ආසන සංවිධායිකා සහ මහරගම හිටපු නගර සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පුද්ගලයකු පහරදීමෙන් ඔක්තෝබර් 26 සවස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
සිය සැමියාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට එක්වී ගෙයින් ගෙට යමින් සිටියදී කාන්ති කොඩිකාර මහත්මිය මෙම සිද්ධියට මුහුණපා ඇති අතර ඇයට පහරදුන් බව කියන පුද්ගලයා එදින මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දිවයින පුවත්පතට අදහස් දක්වමින් කාන්ති කොඩිකාර මහත්මිය ඇයට මුහුණ දීමට සිදුවූ සිද්ධිය පිළිබඳව අදහස් මෙසේ පවසා තිබුණි.
“උපාලි කොඩිකාර මහතාගේ ඡන්ද ප්රචාරක කටයුත්තක් වෙනුවෙන් පන්නිපිටියේ ගෙයින් ගෙට ගියා. එක්තරා ගෙදරක සිටි පුද්ගලයෙක් මේ පැත්තෙ මාලිමාවට විතරයි කිව්වා. මම කිව්වා ඒකට කමක් නැහැ මේ අත්පත්‍රිකා බෙදන්න මට අයිතියක් තියෙනවා කියලා. ඒ වෙලාවේ ඒ පුද්ගලයා මගේ නළලට ගැහුවා. මාව විසිවුණා. ඡන්ද ප්රචාරක කටයුතු කරන්න පක්ෂ විපක්ෂ කාටත් අයිතියක් තියෙන්න ඕනෙ. ඔළුව රිදෙනවා. වෛද්‍ය වාර්තාව තාම ලැබුණේ නැහැ.”
