අශේන්ගේ නඩුව ප්‍රතික්ෂේප කෙරේ

මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මත මැතිවරණ කොමිසම විසින් අශේන් සේනාරත්නගේ නාම යෝජනා ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව අශේන් විසින් නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් පසුගිය 16 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව රිට් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

මෙහිදි අශේන් සේනාරත්න පවසා සිටියේ නාම යෝජනා ඉල්ලුම් පත්‍රය භාර දෙන අවස්ථාවේදී තමා එම ස්ථානයේ රැඳී සිටි බවත් එහිදී නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කළ නිලධාරීන් විසින් තමාව ඉඳගෙන සිටීමට සලස්වා කණ්ඩායමේ වෙනත් අයෙකු වෙතින් අදාළ ඉල්ලුම් පත්‍ර ලබා ගැනීමට කටයුතු කළ බවයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් පවසා තිබුණේ තමාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කිරීම පිටුපස අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇතිද යන්න පිළිබඳව සැකයක් පවතින බවයි.

Author

Related Posts