කාම්බෝජ හා තුර්කි ගමන් බලපත් භාවිත කරගෙන සංචාරකයන් ලෙස මෙරටට ඇතුළු වීමට තැත් කළ සැක කටයුතු චීන ජාතිකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් විසින් ඔක්තෝබර් 19 දින රාත්‍රියේ යළි පැමිණි ගමනාන්තයටම හරවා යවා ඇති බව මව්බිම පුවත්පත වාර්තා කර ඇත.
සංචාරක වීසා මත පැමිණි ඔවුන් ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ කළ පරස්පර ප්‍රකාශත් චීන රජයේ ආගමන නීති උල්ලංඝනය වන අයුරින් ගමන් බලපත් කිහිපයක් පාවිච්චි කිරීම හා ඔවුන් රට තුළට ගැනීම සඳහා තවත් පිරිසක් දුරකථන ඇමතුම් මඟින් නිලධාරීන්ට බලපෑම් කිරීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම ආපසු හරවා යැවීම කළේ යැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මව්බිම පුවත්පතට පවසා ඇත.
තායිලන්තයේ, බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන්යානයෙන් පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා වීසා බලපත් සඳහා මුදල් ගෙවා ‘සේද මාවත’ පහසුකම ඔස්සේ ආගමන කවුළුව වෙත පැමිණ ඇතැයිද කාම්බෝජියානු හා තුර්කි ගමන් බලපත් දෙකක් ඉදිරිපත් කර ඇතැයිද එම නිලධාරියා පවසා ඇත.
ඔවුන් දෙදෙනා දින තුනක සංචාරයක් සඳහා මෙරටට පැමිණි බව කීවද ආගමන විගමන නිලධාරීන්ගේ මූලික ප්‍රශ්න කිරීම්වලදී දුන් පිළිතුරු පරස්පර වීම හා සැක සහිත හැසිරීම් රටාව නිසා ප්‍රධාන ආගමන විගමන නිලධාරි වෙත යොමු කර ඇතැයි වාර්තාවේ සදහන් කර ඇත.
එහිදී චීන ගමන් බලපත් තිබේදැයි විමසූ විට ඔවුන් දෙදෙනා චීන ගමන් බලපත් දෙකක්ද ඉදිරිපත් කර ඇති නමුත් චීන රජයේ නීතියට අනුව චීන ජාතිකයකුට එක් වරකට දැරිය හැක්කේ එක් ගමන් බලපතක් බැවින් මෙසේ ගමන් බලපත් කිහිපයක් භාවිත කිරීම ගැන නිලධාරීන්ට සැක මතු වී ඇති බව වාර්තා වේ සදහන් කර ඇත.
චීන ජාතිකයන්ට එකවර ජාතිකත්ව දෙකක් දැරීමට නීතියෙන් අවසර නොමැති යැයිද චීන ජාතිකයකු වෙනත් ජාතිකත්වයක් ලබා ගන්නේ නම් සිය ජාතිකත්වය අත්හැරිය යුතු යැයිද ආගමන විගමන නිලධාරියා පවසා ඇත.
ඔවුන් සතුව තිබූ කාම්බෝජියානු හා තුර්කි ගමන් බලපත්ද සත්‍ය ඒවා බවට ගුවන්තොටුපළ ආගමන හා විගමන දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් විසින් සහතික කරනු ලැබ ඇති අතර චීන ගමන් බලපත් සඳහා වීසා ගාස්තු අය නොකරද්දී මෙසේ වෙනත් ගමන් බලපත්වලින් මෙරටට ඇතුළු වීම සඳහා වීසා ගාස්තු ගෙවීමද සැකයට බදුන්ව ඇති බව වාර්තාවේ සදහන් කර ඇත.
එසේම ශ්‍රී ලංකාවේ වාසය කරන ඔවුන් දන්නා හ¾දුනන බව කී විදේශිකයකු දුරකථනයෙන් ආගමන විගමන නිලධාරීන්ට සම්බන්ධ කරදීමට එම පුද්ගලයන් කටයුතු කළද එම තැනැත්තා මේ පුද්ගලයන් දෙදෙනා ගැන කර ඇති ප්‍රකාශද විශ්වසනීයත්වයෙන් තොර ඒවා යැයි වාර්තාවේ සදහන් කර ඇත.
එකී විදේශිකයාගේ අනන්‍යතාව ගැන ආගමන විගමන නිලධාරීන් විමසූ විට ඔහුද එක් අවස්ථාවක තමා මැලේසියානු ජාතිකයකු යැයි පවසා පසුව ජපන් ජාතිකයකු යැයි පවසා ඇති බව වාර්තාවේ සදහන් කර ඇත.
මේ අතර අදාළ දුරකථන සංවාදය අතරේ ලංකාවේ වෙසෙන බව කී විදේශිකයාගෙන් දුරකථනය ලබාගත් ශ්‍රී ලාංකිකයකු තමා වරාය නගර ව්‍යාපෘතියේ විධායක නිලධාරියකු ලෙස පෙනී සිටිමින් චීන ජාතිකයන් දෙදෙනා රඳවාගෙන සිටින්නේ ඇයි දැයි ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් ප්‍රශ්න කර ඇති බව වාර්තාවේ සදහන් කර ඇත.
අනතුරුව මේ දෙදෙනා සංචාරය කළ ගමනාන්ත පිළිබඳ පරීක්ෂා කිරීමේදී තායිලන්තය කේන්ද්‍ර කර ගනිමින් ඒ අවට ඇති කාම්බෝජය ඇතුළු රටවලට මොවුන් ගමන් කර ඇති බව තහවුරු වී ඇතැයි කී ආගමන විගමන නිලධාරියා පරිගණක අපරාධ හා මුදල් විශුද්ධිකරණයට අදාළව චීන ජාතිකයන් මෙහෙයවන්නේ මේ කලාපයෙන් බවට අනාවරණය වී ඇතැයිද වාර්තාවේ සදහන් කර ඇත.
මේ අතරේ තවත් පිරිසක් දුරකථන ඇමැතුම් ලබාදෙමින් සැකකටයුතු චීන ජාතිකයන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන්ගේ භාරයෙන් නිදහස් කරගැනීමට දිගින් දිගටම උත්සාහ දරා ඇති බව වාර්තාවේ සදහන් කර ඇත.
මෙම පසුබිමෙහි සැකකටයුතු චීන ජාතිකයන් දෙදෙනා සැබෑ සංචාරකයන් බවට තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හා නිර්මාණය වූ මෙම සැකකටයුතු පසුබිම සැලකිල්ලට ගෙන ඔවුන් පැමිණි ගමනාන්තය වූ තායිලන්තය වෙතම හරවා යැවීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවා නිලධාරීන් වෙත භාර දීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ක්‍රියා කර ඇති බව වාර්තාවේ සදහන් කර ඇත.
