අධිකරණයට යනවා – දමිතා… නාමයෝජනා ගොඩක් ආවා – හේෂා

තමන්ගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් තමාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඇය පවසා ඇත්තේ මැතිවරණයට තරගකිරීම සඳහා තමන්ව යෝජනා කළ පුද්ගලයාම තමාට එරෙහිව කටයුතු කර ඇති බවය.

“හේෂා විතානගේ සහෝදරයා මගෙන් ඉල්ලීමක් කළා දමිතා අක්කේ ඇයි ඔයා රත්නපුරයෙන් ඉල්ලන්නේ නැත්තේ. මම කොහෙන්හරි ඉල්ලනවද කියලවත් හිතලා තිබුණේ නැහැ. මට කිව්වා… නෑ අක්කේ මං ඔයාව මෙහෙන් දාන්නම්, මෙහෙ කාන්තා නියෝජනයක් නැහැ කියලා. මං කිව්වා මල්ලි යෝජනා කරනවනම් මම එන්නම් කියලා. ඒ විදියට තමයි මගේ නම ආවේ. ඒක නෑ කියනවනන් මගේ ලග සාක්ෂි තියෙනවා. ඊයේ මට ආරංචියක් ආව මගේ නම නෑ කියලා. මගේ නම වෙනස් කරා කියලා. මං මේ සාක්ෂි ඇතුව කථා කරන්නේ. මේ සාක්ෂි සියල්ල මාධ්‍ය ඉදිරියේ පෙන්වන්න ලෑස්තියි. මං දන්නෑ හේෂා මේ වගේ පහත් තැනකට වැටුණේ ඇයි කියලා. මාව යෝජනා කරපු කෙනාම මාගේ කකුලෙන් අදින්න පටන්ගත්තා.  අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා. මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පැහැදිලිවම සිදුවෙලා තියෙනවා”. දමිතා අබේරත්න මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

ඔක්තෝබර් 11 වන දින උදෑසන පැවැති මාධ්‍ය හමුවකදී හේෂා විතානගේ දමිතා මහත්මියගේ නාම යෝජනා සම්බන්ධයෙන් හට ගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්ව මින් මෙසේ අදහස් දක්වා තිබුණි.

“රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා මණ්ඩලයට අයදුම්පත් සීයකට අධික සංඛ්‍යාවක් ආවා. නමුත් අපට ලබාදිය හැක්කේ 14 දෙනෙකුට විතරයි. දමිතා අබේරත්න කියන්නේ අපේ පක්ෂයට විශාල ශක්තියක් ලබාදීපු කලාකාරිනියක්. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයට දේශපාලන නායිකාවක් හදාගැනීමට අවශ්‍යතාව තිබෙන නිසා ජාතික තලයේ අපට කොච්චර හයියක් දුන්නත්, පිටින් මේ දිස්ත්‍රික්කයට ආනයන කරන අපේක්ෂයෝ නොදානවා කියලා තීන්දුවක් ගත්තා. ඒ නිසා රත්නපුරයේ ඉපදුණු, රත්නපුරයේ ජනතාවත් එක්ක බද්ධ වෙලා ඉන්න කණ්ඩායමක් විදියට තමයි සමගි ජන බලවේගය කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය භාරදුන්නේ”.

Author

Related Posts