ජනාධිපතිවරණ කාලසීමාවේදී හිටපු රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට කඩා වැදී මැතිවරණ නීති කඩ කළ 34 දෙනකු නිදහස් කරන ලෙසට කළ බලපෑම සම්බන්ධයෙන් සිදුව ඇති විමර්ශනය අභියෝගයට ලක්කරමින් බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය කරමින් පුළුවන් ශ්‍රී ලංකා තේමා පාඨය සහිත ටී ෂර්ට් පැළඳ බදුල්ල නගර මධ්‍යයේ සිටි 34 දෙනකු මැතිවරණ පැමිණිලි ඒකකයට ලද තොරතුරු මත බදුල්ල මූලස්ථානයට රැගෙන විත් තිබිණි. චාමර සම්පත් දසනායක බදුල්ල මූලස්ථාන පොලිසියට කඩාවැදී නිලධාරීන්ට බැණ වැදී ඇති අතර පිරිස නිදහස් කරන ලෙසට බලකර තිබුණි. අදාල සිද්ධිය ඇතුළත් විඩියෝවක් සමාජ මාධ්‍යයේ උඩුගත කර තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේ වාර්තාව ගැන සෑහීමක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වෙනම මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට නිර්දේශ කරන බවත් කියමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇති අතර ඊට අදාළ අවසරය ද ලැබී බවත් අරුණ වාර්තා කර ඇත.
මැතිවරණ නීති කඩකළ මෙම පිරිස මුදාහැර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මත බවට පොලිසිය පාර්ශ්වය සදහන් කර ඇතත් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී ඇත්තේ තමන් එවැනි උපදේශයක් නොදුන් බවය.
