ඔන්මැක්ස් පිරමීඩ වංචාවට අදාල පැමිණිලි පොලිසියට භාර ගන්න යැයි අධිකරණ නියෝගයක්

ඔන්මැක්ස් ඩී.ටී පිරමීඩ වංචාවට හසුවු තැන්පත්කරුවන්ගේ පැමිණිලි භාරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට සැප්තැම්බර් 25 වන දින නියෝගයක් නිකුත් කර ඇත.

විශාල පිරිසක් නීති විරෝධී ඔන්මැක්ස් ඩී.ටී. පිරමීඩ සමාගමේ මුදල් ආයෝජනය කර ඇති බවත් මේ වන තෙක් විධිමත්ව පැමිණිලි ඉදිරිපත් කර නොමැති බත් පවසා ඇති අතර එබැවින් සිය මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ට පැමිණිලි කිරීමට සුදුසු ආකෘතියක් සකස් කර සියලුම පොලිස් ස්ථානවලට යොමු කරන ලෙසත් නියෝග කර ඇත.

අදාල පැමිණිලි ආකෘති භාරගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ​පොලිස්පති (පරිපාලන) වෙත ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාල නියෝගය නිකුත් කර ඇත.

නඩුවේ තෙවැනි සැකකරු වන ඔන්මැක්ස් ඩී.ටී. සමාගමේ අධ්‍යක්ෂ සම්පත් සඳරුවන්ට හට නොවැම්බර් 4 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට විමර්ශන නිලධාරීන්ට තමන් දන්නා තොරතුරු ලබාදෙන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබුණු අතර එම සැකකරුවන්ගේ දේපළ 5 කට අදාළ ඉඩම්වල තක්සේරු වාර්තා ලබාගැනීමට අවශ්‍ය ඉඩම් හා නිවෙස්වල පිඹුරුපත්ද එදිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එන ලෙස සැකකරුට නියෝග කර ඇත.

ඔන්මැක්ස් ඩී.ටී. තැන්පත්කරුවන් දැඩි පීඩනයකට පත්වී තිබෙන බවත්, ඔවුන් ක්ෂණිකව සහනයක් බලාපොරොත්තු වන බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ අධිකරණයට ඇති අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ අගතියට පත් වූවා යැයි කියන තැන්පත්කරුවන්ගේ සංගම්වල සාමාජිකයන් 2000 ක් 3000 ක් පමණ සිටින බවය.

මේ වන විට පැමිණිලි 100 ක් පමණ ලැබී ඇති බවත් නිසි පරිදි පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවහොත් නීතිපති දෙපාර්තමේන්තුවට, පොලිසියට, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අධිකරණයට මුදල් ගෙවීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කළ හැකි බවත් රජයේ නීතිඥවරයා දන්වා ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් සිය සේවාදායකයන් තැන්පත්කරුවන් 65000 කට අදාළ තොරතුරු මේ වනවිට ලබාදී ඇති බවත්, තැන්පත්කරුවන්ගේ යැයි කියන සමාගම් කළ යුත්තේ නිවැරදි තොරතුරු ලබාදීම බවත් පවසා ඇත.

Author

Related Posts