රුසියානු – යුක්‍රේන යුද්ධයට හමුදා සාමාජිකයන් යවන ජාවාරම්කරුවන්ට නීතිය අකුරට

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නීති විරෝධි විදෙස් රැකියාවලට යොමු කරන නියෝජිතයන්ට, එම සමාගම්වලට සහ ඒ සඳහා උපකාර කරන සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන බව ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශය අද (8) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ත්‍රිවිධ හමුදා රණවිරුවින් විශාල පිරිසක් සිය විශ්‍රාම දිවිය තුළදී නීතිවිරෝධි කූඨ විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසක් විසින් කරනු ලබන මිනිස් ජාවාරමක ප්‍රතිඵලයක් ලෙස රුසියානු – යුක්‍රේන යුද්ධ පෙරමුණට යොමු කර කුලී හමුදා සාමාජිකයන් ලෙස දුක්ඛිත තත්ත්වයට පත්ව ඇති බවට ආරක්‍ෂක අමාත්‍යාංශය කරුණු අනාවරණය කරගෙන ඇති බවයි.

රුසියානු – යුක්‍රේන යුද්ධ පෙරමුණේ කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලාංකික රණවිරුවන් සැලකිය යුතු ගණනක් මිය ගොස් ඇති අතර තවත් කොටසක් තුවාල ලබා ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයට තොරතුරු අනාවරණය වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

විදෙස් හමුදාවට එක් කිරීම, විශාල වැටුපක් ලබා දීම, පුරවැසිභාවය ලබා දීම මෙන් ම තවත් විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට ජාවාරම්කරුවන් දුන් ව්‍යාජ පොරොන්දුවලට අනුව, රණවිරුවන් රුසියානු – යුක්‍රේන යුද්ධ පෙරමුණට කුලී හමුදා සාමාජිකයන් ලෙස යොමු කර ඇති බවයි.

කෙසේ නමුත්, ඔවුන් වෙත කිසිදු වැටුපක්, එවැනි ප්‍රතිලාභයක් හෝ මිය ගිය හෝ තුවාල ලැබු පුද්ගලයන්ට වන්දි මුදල් ලබාදීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර නැති බවට කරුණු අනාවරණය වී ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය සහ බුද්ධි අංශ එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වනවිට විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් මේ වන විට එයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා පුද්ගලයින් හෝ වෙනත් පුද්ගලයන් සම්බන්ධ තොරතුරු පවතින නම්, නාවික හමුදා මූලස්ථානයේ දුරකතන අංක 0117192142 හෝ 0117192250 යන අංක වෙත තොරතුරු ලබා දෙන මෙන් නාවික හමුදාව ඉල්ලා සිටින බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading