ඩයනා ගෙදර මුජිබර් ඇතුලට

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තීන්දු කළා.

ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේදී කරුණු තහවුරු වූ බවයි.

එසේම ඩයනා ගමගේ මහත්මියගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් “quo warranto” රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තයක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මහතා මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

එම අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කොට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා

ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමග ඩයනා ගමගේ දැරූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ධුරයට මුජිබර් රහුමාන්පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.

මුජිබර් රහුමාන් පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර තිබුණා.

Author

Related Posts