උමා ඔය ආශ්‍රිත නායයාමක් නැහැ-ඉන්දික අනුරුද්ධ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටලුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් පවසනවා.

ඔහු පවසන්නේ වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවයි.

උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හෙට අද (01) අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

“උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කිරීම නියමිත කාලයට වඩා වසර 09ක් පමණ ප්‍රමාදවීම නිසා ඩොලර් බිලියන 200කට ආසන්න මුදලක් රටට අහිමි වී තිබෙනවා. පසුගිය වසර 09ක කාලය වෙනුවෙන් වූ පාඩුව ඩොලර් මිලියන 587ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තු මුදල ඩොලර් මිලියන 529ක් ලෙස සටහන් වුණා. නමුත් ගෙවුණු වසර 09 තුළ උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිත විදුලි උත්පාදනය ජාතික පද්ධතියට එක්කර ගැනීමට නොහැකි වීම නිසා මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තු ගත මුදල හා සමාන පාඩුවක් දැරීමට සිදු වුණා.ඒ වගේම උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිත විදුලි උත්පාදනය ජාතික පද්ධතියට එක් කිරීමෙන් පසුවත් මෙම ව්‍යාපෘතිය නිසා නායයාම් සිදුව තිබෙන බව පවසමින් ජනතාව නොමඟ යවන මාධ්‍ය සංදර්ශන සිදුකරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. එහිදී වර්ෂාපතනයෙන් පසුව ඇතිවන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් මෙම සංවර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ කටයුතුවල නිරත වන බවත් මෙම ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු නාය යාමේ හෝ වෙනත් සිදුවීමක් තහවුරු වී නැති බව සඳහන් කළ යුතුයි. කෙසේ වුවත් උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති බව පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා මැයි පළමුවෙනිදා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් ඒ ආශ්‍රිතව නිරීක්ෂණ සංචාරයක නිරත වන බව ද සඳහන් කළ යුතුයි.
එහිදී කිසියම් හෝ ගැටලුවක් ඇත්නම් ඒ සියල්ල වෙනුවෙන් තාක්ෂණික පිළිතුරු ඇති බව ද අප රජයක් ලෙස වගකීමෙන් පවසනවා. එවැන්නක් ඇත්නම් ඒවා වළක්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ලෝකය පුරා අත්දැකීම් තිබෙනවා.මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පසුගිය සමයේ ඇතැමුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් රටට අහිමි වුණා. 2015 වසරේ ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී තිබුණත් අධිකරණ ක්‍රියාමර්ග ගැනීම හේතුවෙන් එය අහිමි වුණා.එමෙන්ම කෙරවලපිටිය LNG බලාගාරය මෙන්ම තවත් කුඩා විදුලි බලාගාර කිහිපයක් විරෝධතා හරහා අහිමි කළා. මේ ආකාරයට මහජනතාව බියගන්වන සහ ප්‍රකෝපකාරි කරන පණිවිඩ මඟින් සංවර්ධන ව්‍යාපෘති රැසක් රටට අහිමි කර තිබෙනවා. ඒ නිසා මහජනතාව අසත්‍ය තොරතුරු පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි”

Author

Related Posts