“ඒ පුවත කියවා මා දැඩි කම්පාවට පත්වුණා”, අසත්‍ය පුවතක් ගැන දිවයින පත්තරේ ප්‍රධාන කතුවරයාට ලිපියක්

ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ, මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරු ලෙස තීන්දු වූ පොලිස්පති දේශබන්දු තෙන්කෝන්, ඇමති ධූරයේ වැජබෙන්න තනන ටිරාන් අලස්, මේ තුන් කට්ටුව සමාජය භීතිකාවට ලක්කරන්න අරගෙන යන ප්‍රොපගැන්ඩාවට තමයි “යුක්තියේ මෙහෙයුම” කියන්නේ. ගාඩ් පිට ඇදෙන, මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන, දේශපාලන බලය රැක ගන්න පාතාලය පවා හසුරුවන පාරලිමේන්තු වරප්‍රසාධ හරහා සියල්ල යටගසාගෙන සිටිනසමහර මැති ඇමතිලා “යුක්තියේ මෙහෙයුම” නම් දැලට මෙතෙක් හසු නොවුණේ ඒ නිසා. ව්‍යවස්ථාවට අනුව මේ අවුරුද්දේ ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතුයි. එවැනි පසුබිමක සිවිල් සමාජය තුළ මිලිටරි සහ පොලිස් බලය යොදා ගනිමින් වපුරමින් සිටින භීතිය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවට බරපතල හානියක් සිද්ධ කරනවා. ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ එකී අමිහිරි, කටුක සිද්ධීන් පිළිබදව ඔබ කවුරුත් අසා ඇති බවට සැකයක් නැත.

මානව හිමිකම් යටගහන්න “යුක්තියේ මෙහෙයුමෙන්” ගහන අලුත් ලේබලය

ලංකාවේ සිදුවූ පුද්ගල පැහැරගැනීම් හා බලහත්කාරී අතුරුදහන් කරවීම් එමටයි. පුද්ගලයින් පැහැරගෙන බලහත්කාරී ලෙස අතුරුදහන් කිරීම අතින් අද ලංකාව ලෝකයේ දෙවෙනි රට බවට පත්වෙලා. 1971 අරගලය මර්දනය කරන්න එවකට මැතිණියගේ ආණ්ඩුව යෙදූ මිලිටරි බලයෙන් 10.000කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කළා. “චේගුරා කාරයෝ” කියන ලේබලයෙන් එදා ආණ්ඩුව ඒ ඝාතන සාධරණීකරණය කරන්න උත්සාග කළා. 1987-89 රාජ්‍ය භීෂණය තුළ පුද්ගලයින් 60,000කට එහා අතුරුදහන්. “ජේවිපි කාරයෝ” කියන ලේබල් එක ගහලා තමයි ආණ්ඩුව ඒ කාලේ ඒ අපරාධ සාධාරණීකරණය කළේ. ඉන්පස්සෙ 27 වසරක කුරිරු යුද්දේ.  යුද්දේ අවසන් අධියරේදී විතරක් යුධ මුක්ත කලාපෙට ඇතුළ් වූ සහ ඉන් පිටවූ දමිළ වැසියන් අතර වෙනස 147,662යි. ජීවිතේ අවසාන ඉරණම ගැන කිසිම හෝඩුවාවක් නැති මේ සමූහ ඝාතන සහ අතුරුදහන්කරවීම් සාධාරණීකරණය කරන්න ආණ්ඩුව පාවිච්චි කළේ “LTTE කාරයා”, “ත්‍රස්තවාදියා” කියන ලේබල් එක. අද “යුක්තිය මෙහෙයුම” යටතේ මේ කරන්නෙත් ඒ දේම තමයි. ලේබලේ විතරයි වෙනස්. දැන් පාවිච්චි කරන්නේ “කුඩුකාරයා”, “පාතාලේ” කියන ලේබල් එක.

සැකකරුවෙකු වැරදිකරු හෝ නිවැරදිකරු ලෙස තීරණය කරන්නේ අධිකරණයෙන් මිසක් මාධ්‍යයෙන් නොවේ

අනීතිකව අත්අඩංගුවට ගැනීම්, පැහැරගැනීම්, වදහිංසාවට ලක් කිරීම හා අතුරුදහන්කරවීම සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න අවශ්‍ය සමාජ මතවාදය හා පාතාලය සහ කුඩු මඩින්න සිදු කරන පොලිස් ඝාතන අපරාදයක් නෙවේ කියන්න තමයි මේ එක එක ලේබල් ගහන්නේ. අපේ රටේ බොහෝ මාධ්‍ය පවා මේ සිදුවීම් පළකරන්නේ තොරතුරුවල සත්‍යභාවය තහවුරුකර නොගෙනයි. පැහැරගත් හෝ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නඩු විභාගයකින් වැරදිකරු ලෙස අධිකරණයෙන් තීන්දු කරන්න කලින් ඔහු වැරදිකරුවකු ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගසන්නේ සැකකරුවකුට හිමි “නිර්දෝශිභාවයේ පූර්ව නිගමනය” කියන නෛතික පිළිගැනීම හිතා මතාම නොසකාහරිම්න්. මේ ඒ වගේ තවත් උදාහරණයක්. පසුගිය මාරතු 27 හොරොව්පතානේදී පැහැරගෙන දින 25ක් අතුරුදහන්කර සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්.ය බලකාය විසින් පිටිගල පොලීසියට භාරදීමෙන් අනතුරුව ඔහු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. පසුව ඔහු අපරාද සිද්ධියක 09වන විත්තිකරු ලෙස නම්කර තිබුණා. සිද්ධියට සම්බන්ධ වුවත් නැති වුවත් මේ නඩුවේදී ඔහු තවමත් සැකකරුවෙක් විතරයි. “නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය”ට අයිතියක් ඇත. ඔහු වැරදිකරුද නිවැරදිකරුද කියා තීන්දු කළ යුත්තේ නඩු විිභාගයෙන් අනතුරුව අධිකරණ විනිසුරුවරයෙකු විසින් මිස මාධ්‍යයෙන් නොවේ. වැදගත් වන්නේ එම නීතිමය හා අධිකරණ ක්‍රියාවලියට ඉඩදීම හා ගරු කිරීම මිස නීතිය අතට ගැනීම හෝ මාධ්‍ය විසින් අධිරණයේ භූමිකාව රගදැක්වීමට යාම නොවේ. දැනටමත් “පාතාලකාරයෙක්” ලෙස හංවඩු ගසා මාධ්‍ය ආචාරධර්.ම කුණු කූඩයට විසි කරමින් ඝාතකයකු ලෙස අසත්‍ය සහ සංවේදී කරුණු සමග 2024.04.26 දින දිවයින පුවත්පතේ එම සැකකරු පිළිබදව පුවතක් පළකර තිබුණා. මේ අසත්‍ය පුවත් වාර්තාකරණය නිසා අගතියට පත් ඔහුගේ මව දිවයින පත්තරේ ප්‍රධාන කර්.තෘගෙන් එම පුවතේ සදහන් සාවද්‍ය කරුණු නිවැරදි කර නැවත පළ කරන ලෙස ඉල්ලා සිටි පුවතක් පසුගියදා වාර්තා වුණා.

පහතින් පළවන්නේ අගතියට පත් පාර්ශවය විසින් දිවයින පත්තරේ ප්‍රධාන කතුවරයාට යවා තිබෙන ලිියයි.

2024.04.26

ප්‍රධාන කර්.තෘ,

දිවයින පුවත්පතේ කර්.තෘ මණ්ඩලය.

මහත්මයාණෙනි,

අසත්‍ය තොරතුරු සහිතව පලකර තිබූ පුවතක් නිවැරදි කර නැවත පලකිරීම සදහා අගතියට පත් පාර්ශවය විසින් කරන ඉල්ලීමයි.

“දකුණේ ඝාතන හතරේ වෙඩික්කරු අත්අඩංගුවට” යන ශීර්ෂ පාඨය යටතේ දිවයින පත්තරේ, දෙවැනි පිටුවේ, 2024.04.26 වන දින, හේමන්ත රන්දුණු මාධ්‍යවේදියා විසින් පලකර තිබූ පුවත මම කියෙවුවෙමි. එම පුවත කියවා දැනට සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගතකර සිටින කපිල කුමාරගේ මව වන මා දැඩි කම්පාවට පත්වුණෙමි. මගේ පුතා කපිල කුමාර පැහැරගැනීමට ලක්වුණේ 2024.03.27 දින සවස 6.30ට පමණ හොරොව්පතාන ප්‍රදේශයේදී. ඉන්පසු ඔහු පිළිබදව කිසිදු තොරතුරක් නොලද තැන කපිලව පැහැරගෙන බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම සම්බන්ධයෙන් මා නීතිමය සහ මානව හිමිකම් පිළිබද ආයතනික ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කළෙමි. පැහැරගෙන අතුරුදහන්කර සිටි කපිල කුමාර දින 25කට පසුව 2024.04.21 දින රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් පිටිගල පොලීසියට භාර දී තිබුණි. පසුදින එනම්, 2024.04.22 ඔහු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී. ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන මෙම නඩුවේ විත්තිකරුවන් අතර කපිල කුමාර විත්තිකරුවෙකි. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර නැති නිසා මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඔහු තවමත් සැකකරුවෙකු පමණි.  ගරු මහේස්ත්‍රාත්තුමා විසින් නඩුවේ තීන්දුවක් ලබාදෙන තුරු “නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය” මත ඔහු විත්තිකරුවෙකු මිස වැරදිකරුවෙකු නොවේ.

මෙවැනි සිදුවීමක් සහ සැකකරුවෙකු පිළිබදව පුවත් වාර්තාකරණයේදී මාධ්‍ය ආචාරධර්මවලට අනුකූලව එය වාර්තා කරන්නේනම් අගනේය. ඒ බව මට වඩා ඔබට උගත් මාධ්‍යවේදියෙක් සහ කර්තෘ කෙනෙකු ලෙස අවබෝධයක් සහ පළපුරුද්දක් ඇතැයි මම සිතමි. මෙම පුවත් වාර්තාකරණයේ ඇතුළත් වැරදි කරුණු 04ක් සහ ඊට අදාළ නිවැරදි කරුණුද ඉතා අවංක ලෙස, මාගේ හෘද සාක්ශියට අනුව පහත පරිදි සටහන් කරමි.

01. “…පෙරේදා (24දා) අත්අඩංගුවට ගෙන ඇත”

නිවැරදි තොරතුර

කපිලව පිටිගල පොලීසියට භාර දී තිබෙන දිනය වන්නේ 2024.04.21

02. “යුද හමුදා කමාන්ඩො බළකායේ රාජකාරි කර ඉන් පලාගොස්..”

නිවැරදි තොරතුර

කපිල කුමාර කමාන්ඩො බළකායේ රාජකාරි සදහා වන ගිවිසගත් අවුරුදු ගණන සම්පූරණ කර නීත්‍යානුකූලව රාජකාරියෙන් විශ්‍රාම ගිය කෙනෙකි (ඒ බව තහවුරු කරන ලිපිය මේ ලිපිය සමග අමුණා ඇත).

03. “..කරන්දෙණියේ සුද්දා නැමති පාතාල නායකයා යුධ හමුදා කමාන්ඩො බළකායේ රාජකාරිකර ඇත්තේ එකට..”

නිවැරදි තොරතුර

කපිල කුමාර කොමාන්ඩො බළකායේ රාජකාරී කළත්, ඔහු කිසිම අවස්ථාවක කරන්දෙණියෙ සුද්දා නැමති හමුදා නිළධාරියෙකු සමග එකට රාජකාරී කර නැත.

04. “කපිල කුමාරගේ මව සහ සොහොයුරා මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි”

නිවැරදි තොරතුර

කපිල කුමාරගේ මව වන මා අත්අඩංගුවට ගත්තේ නැත. කපිලගේ සොයුරාද අත්අඩංගුවට ගත්තේ කපිල කුමාර පැහැරගත් 2024.03.27 දිනට පසුදින එනම්, 2024.04.28 දිනය.

හේමන්ත රන්දුණු මාධ්‍යවේදියා ඔහුට ලැබුණු තොරතුරුවල නිරවද්‍යභාවය සනාථ නොකර ගැනීමෙන් සිදුව ඇත්තේ අසත්‍ය පුවත් වාර්තාකරණයකි. එමෙන්ම සැකකරුවෙකු ලෙස කපිල කුමාරගේ “නිර්දෝශිභාවයේ පූර්ව නිගමනය” සචේතනිකවම නොසලකාහැර ඇත. වෘර්තීමය මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය ආචාර ධර්ම බැහැර කරමින්ද සිදු කළ මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සංවේදී කරුණු පිළිබදව සැලකිලිමත් නොවී සිදු කළ පුවත් වාර්තාකරණය මාගේ සහ කපිල කුමාරගේ බිරිද සහ දරුවන් දෙදෙනාගේද ජීවිතවලට මරණ තර්ජන පවා එල්ල වීමේ අවදානමක් ඇත.

එබැවින් සම්මත මාධ්‍ය ආචාරධර්මවලට ගරු කරමින් මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය ගැන කණගාටුව හා අගතියට පත් පාර්ශවයට සමාව භජනය කරමින් වැරැදි නිවැරදි කිරීමක් සිදු කරන ලෙස මෙමගින් කාරුණිකව ඉල්ලා සිටිමි. එම පුවත නිවැරදිකරණය ඉදිරි සතියේ (මැයි මස 03වන සිකුරාදා දින) දිවයින පත්තරේ පලකරනු ඇතැයි මා විශ්වාස කරන අතර ඒ පිළිබදව මම අවදානයෙන් සිටිමි. එම වෘතීමය වගකීම සහ මාධ්‍ය ආචාරධර්මය ඔබ ආයතනයෙන් ඉටු නොවේනම් මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය තුළින් අගතියට පත් පාර්ශවය ලෙස නීතිමය පියවර ගැනීමට මා හට සිදුවන බව කණගාටුවෙන් වුවද ප්‍රකාශකර සිටිමි.

මෙයට,

අසත්‍ය පුවත් වාර්තාකරණය නිසා අගතියට පත්,

නෙළුම් කුමුදුනී ජයසේකර

සටහන – අසංක අබේරත්න

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading