දේශපාලන පක්ෂ, වෘතීය සමිති, සිවිල් සංවිධාන රැසක් මෙවර කම්කරු දිනය වෙනුවෙන් මැයිදින රැළි සංවිධානය කර තිබෙනවා. ජනතාවගේ විරෝධය නොතකා වත්මන් ආණ්ඩුව පහුගිය කාලය පුරා හදුන්වා දුන් නව පනත් හා නීති නිසා කම්කරුවාගේ අයිතිවාසිකම් බරපතල ලෙස කප්පාදුවට ලක්වුණා. 2024 ආරම්භ වුණේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගෙන තිබූ එකගතා මත 3%කින් වැට් බද්ධ ඉහළ දමමින්. ජීවන වියදම ඉහළ දැමීම, සුබසාධන සේවා කප්පාදුව, මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් අයවිය යුතු බදු සහ ණය පියවා නොගැනීම, EPF, ETF කොල්ලය, ආබාධිත සහ වැඩිහිටි දීමනා අත්හිටුවීම, රාජ්‍ය ආයතන සහ මහජන දේපළ විකිණීම ඝෘජුවම බලපෑවේ මේ රටේ සාතිශ්‍ය බහුතරයක් වුූ කම්කරුවන් ඇතුළු පහළ පාංතික ජනතාවට. මේ පීඩාව නිසා එල්ල වුණු විරෝධය හමුවේ ආණ්ඩුව වෘතිය සමිති ඉලක්ක කර ගනිමින් මර්දනය ක්‍රියාත්මක කළා. වෘතිය සමිති ක්‍රියාකාරීන්ට සමාජ මාධ්‍ය වාරණ පවා පැණෙව්වා. විදුලිබල මණ්ඩලයේ එක් වෘතිකයකු වැඩ තහනමට පවා ලක්කළා. නමුත් වෘතිය සමිති විරෝධය හමුවේ ඔහුව නැවත රැකියාවේ පිහිටුවන්න ආණ්ඩුවට සිදුවුණා. මේ නොයෙකුත් අභියෝගයන් මැද තමයි මෙවර කම්කරු දින රැළි සහ වැඩසටහන් පැවැත්වෙන්නේ.
ඒ අතර බුද්ධිමය කවයක් තුළ සිදු වන මැයිදින සැමරුමක් පිළිබදව අපට වාර්තා වුණා. මේක නම් කරලා තියෙන්නේ; “අපේ මැයිදින සැමරුම! – කුමාරි ජයවර්ධනගේ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම කෘතිය පිළිබද විවෘත සම්භාෂණය” යනුවෙන්. මේ ගැන වැඩිදුර විස්තර හොයාගෙන යනකොට අපට හමුවුණා එහි සංවිධායකයෙක් සහ එම වැඩසටහනේ මූලික අදහස් දක්වන්නෙක්. ඒ තමයි විදර්ශන කන්නංගර.
මොකක්ද මේකේ වැදගත්කම?
“මැයි දිනය කියන්නේ දේශපාලන පක්ෂ, වෘතීය සමිති තමන්ගේ සාමූහික දේශපාලන කැපවීම ප්‍රදර්ශනය කරන දවසක්. නමුත් ප්‍රශ්ණය තමයි ලංකාවේ දැන් තිබෙන වෘතිය සමිති, කම්කරු ව්‍යාපාර ඇතුලු වාමේ දේශපාලන පක්ෂ කම්කරු ව්‍යාපාරයේ එදා සහ අද තත්ත්වය ගැන නැවත හැරී බැලීමක් සිදු නොකිරීම. විශේෂයෙන්ම ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම සිද්ධ වුණේ කෙහොමද?, ඒකට පසුබිම් වුණේ කුමක්ද?, ඒකේ තිබෙන ගැටලු මොනවද? ලංකාවේ වැටුප් ශ්‍රමිකයා නිර්මාණය වුණේ කොහොමද? මේ කාරණා ගැන විපරම් කරන්න අපේ ගොඩක් සහෝදරවරු උත්සාහ කරන්නේ නෑ. කම්කරුවා කියන්නේ කවුද? කම්කරුවා ස්ථානගතවෙලා ඉන්නේ කොතනද? කම්කරුවාට ලැබෙන්න ඔන විමුක්තිය මොකක්ද කියන එක සම්බන්ධයෙන් ලෝකයේ යම්තාක් දුරකට සාකච්ඡාවක් තිබුණට ලංකාවේ එහෙම සංවාදයක් නෑ. ඒ නිසා තමයි අපි කුමාරි ජයවරධනගේ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම කෘතිය සාකච්ඡාවට ගන්න හේතු වුණේ”
ඇයි මේක බුද්ධිමය කවයක් ඇතුළේ කරන්න හිතුවේ?
“වාමාංශික ව්‍යාපාර සහ පක්ෂ එක්ක එකතුවෙලා අපි කටයුතු කළාට සාමාන්‍යයෙන් මේ පක්ෂ මැයිදිනය සමරන්නේ බහුජන ව්‍යාපරයක ආකෘතියෙන් නෙවේ. මේක තමයි අපි මුහුණ දීපු ප්‍රායෝගික තත්ත්වය. ජන අරගල ව්‍යාපාරය විදිහට අපි වැඩ කළාට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනම මැයිදින රැළිය පවත්වනවා. ජවිපෙ ජාතික ජන බලවේගය විදිහට වැඩකළාට ඔවුන් සුපුරුදු විදිහට මැයි දිනය සමරනවා. වමේ පක්ෂවල නොවන ලංකාවේ වෘතිය සමිති තිබුණත් ඒවා යම් විදිහකට NGOකරණය වෙලා තියෙනවා. මේ මුදාලිකරණය වුණු ව්‍යාපෘති එළියට පෙන්වන දවසක් බවටත් මැයි දිනය අදවෙනකොට පත්වෙලා තියෙනවා. නමුත් සමහර කණ්ඩායම් අවංකව වැඩ කරනවා. ඒ අය අරගලය සහ ජනතාවගේ ප්රගතිශීලී ඉල්ලීම් වෙනුවෙන් වැඩකරනවා. එසේ නොවන වෘතිය සමිති ස්වාධීනයි කියලා කිවුවට ඒ වෘතිය සමිති මූල්‍යකරණය වෙලා. ඒ ප්‍රයෝගික ප්‍රශ්ණය නිසා තමයි අපි මේක බුද්ධිමය කවයක් ඇතුළේ කරන්න හිතුවේ”
සජබ, එජාප, පොහොට්ටුව, ශ්‍රී ලංකා එක, ජාජබ, පෙසප, වමේ කණ්ඩායම් පවත්වන කම්කරු දින රැළි දිහා පිටින් ඉදන් බලද්දී ඔබ කොහොමද මේවගේ බෙදුම් රේඛාව සටහන් කරන්නේ?
“සජබ, එක්සත් ජාතික පක්ෂය සහ ජාතික ජන බලවේගය ඇතුලු මැයිදින රැළි ගැන සලකා බලද්දි මූලිකවම ඔවුන් ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන තමයි ඒවා සංවිධානය කරන්නේ. ඒ ඇරුණම අරගලය, කම්කරුවා සහ වාමාංශික දැක්මකින් මැයි දින රැළිය පවත්වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. නමුත් මම ඒකේ සීමාකම් දකිනවා. මොකද කම්කරුවා අද සිටින තැන කුමක්ද කියන එක සම්බන්ධයෙන් පෙසප ඇතුලු වමට පුලුල් අදහසක් නෑ. සාමාන්‍ය විග්‍රහයෙන් අදුරගෙන තියෙන වෘතීය කම්කරුවා කියන සීමාවේ ඉදලා තමයි ඔවුන් තවමත් කටයුතු කරන්නේ”
සටහන – අසංක අබේරත්න

