ඉස්සන් වගා ව්‍යාපෘතියකට හා දැනටමත් ආරම්භ කර ඇති ඉල්මනයිට් කැනීමකට එරෙහිව නැගෙනහිර ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් මස 25 වැනිදා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් දියත් කර තිබු අතර එහිදී ඔවුන් චෝදනා කළේ, ස්වාභාවික පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් සාගරයේත්, ගොඩබිමත් සම්පත් කොල්ලකෑමක් සිදු වන බවටයි.
ජනතා විරෝධය හේතුවෙන් 2019 වසරේ සිට අත හැර දැමීමට සිදුවු මෙම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමේ සුදානමක් පවතින බවට විරෝධතාකරුවන් පෙන්වා දුන්නා.
උද්ඝෝෂණය අවසන් වීමෙන් අනතුරුව ඔවුන් දිස්ත්‍රික් ලේකම්වරයා හමුවී මෙම ව්‍යාපෘති සදහා සිය විරෝධය ඇතුලත් සන්දේශයක් භාර දීමට උත්සහ කළ අතර එහිදී මෙම ව්‍යාපෘතීන්ට සහාය පළ කරන සුළු පිරිසක් විසින් බාධා එල්ල කර තිබෙනවා.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ වාකරේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙරුගල් සිට කායන්කුඩා දක්වා ප්‍රදේශයට අයත් වන අදිරවේලි, පුතුර්, පුච්චාකේනි ඇතුළු ගම්මාන ඇතුලත් වන සේ කිලෝ මීටර් 15 ක මුහුදු තීරය සහ එයට යාබද ගොඩබිම සහිත භුමියේ ඇතැම් ස්ථානවල ඉල්මනයිට් කැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
පනිච්චංකේනි ගඟ ආසන්නයේ ඉස්සන් ගොවිපළ ආරම්භ කිරීමේ සැලසුමක් පවතින බවට ඔවුන් අවධාරණය කළා.
ඉස්සන් වගා කිරීමේ මුළු ව්‍යාපෘතිය යටතට ඉඩම් හෙක්ටයාර් 3000 ක පමණ ප්‍රමාණයක් යටත් කිරීමට නියමිත බව ප්‍රදේශයේ බහුජන සංවිධාන පෙන්වා දෙනවා.
එමෙන්ම කිරි නිෂ්පාදනයට ඉවහල් වන ගවයන්ගේ හා එළුවන්ගේ ආහාර සැපයෙන තෘණ බිම් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් විනාශයට පත්වනු ඇති.
ඊට අමතරව දෛනිකව රුපියල් 2000 ක පමණ මුදලක් උපයා ගන්නා සුළු පන්න ධීවර කර්මාන්තය ද මේ ඉස්සන් වගා ව්‍යාපෘතිය යටතේ අර්බුදයට ලක් වන බව වැඩිදුරටත් සඳහන්.
එහිදී විරෝධතාකරුවන් සඳහන් කර තිබෙන්නේ,
“ඉල්මනයිට් කැණීම සඳහා ඉඩම් පවරාගෙන ඇති අතර, කැණීම් කටයුතු සිදු කිරීමට බොහෝ මාර්ග වලින් උත්සාහ කරනවා. අපි පසුගිය අවුරුදු හය තුළ පා ගමන් සහ උද්ඝෝෂණ රාශියක් පවත්වා තිබෙනවා. නමුත් ඔවුන් ආණ්ඩුකාරවරයාගේ සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයාගේ සහාය ඇතිව සූක්ෂම ලෙස කටයුතු කරනවා. මෙවැනි සමාගම් අපේ ගමට එනවාට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.”
