ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද ( 24) තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවට විනිසුරු එහිදී සඳහන් කර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය මීට පෙර අප්‍රේල් 4 වන දා ද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමු කළ පැමිණිල්ලකට අදාළවයි.
මේ අතර, අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 8 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කර තිබෙනවා.
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනු කරනු ලැබ තිබුණු පැමිණිලි අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
