ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට ගුවන් ආරක්ෂක අංශ විසින් ඉෆ්සාහාන් නගරය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර තුනක් ව්‍යර්ථ කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉරාන බලධාරීන් පෙන්වා දී ඇත්තේ, ඉස්ෆහාන් නගරයේ ගුවන් තොටුපළ සහ හමුදා කඳවුරක් ආසන්නයේ පිපිරීම් තුනක් පිළිබඳව වාර්තා වූ අතර ඒ හේතුවෙන් ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බවයි.
මේ අතර, ප්‍රහාර හේතුවෙන් ඉරානයේ නගර කිහිපයකම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.
කෙසේවෙතත්, මේ වන විට ටෙහෙරානයේ Imam Khomeini ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති බව ඉරාන මාධ්‍ය පෙන්වා දෙනවා.
අප්‍රේල් 13 වන දින ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා.
පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වෙනවා.
කෙසේවෙතත්, ඉරානය විසින් දියත් කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් යළිත් ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය දැනුම් දීමත් සමඟ ඉරානය ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වනවා.
මෙවන් පසු බිමක ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඊශ්‍රාලයෙන් ඉවත් වීම සඳහා ආරක්ෂාකාරී වාතාවරණයක් පවතින්නේ නම් පමණක් ඊශ්‍රායලය හා පලස්තීන භූමි සීමාවන් තුළ වෙසෙන සිය පුරවැසියන්ට ඉවත් වන ලෙසයි ඕස්ට්‍රේලියාව දැනුම් දී ඇත්තේ.
ඒ, ඊශ්‍රායලය හා ඒ ආසන්න ප්‍රදේශවල ත්‍රස්ත ප්‍රහාර මෙන්ම මිලිටරි ආක්‍රමණයන් හට ගැනීමේ දැඩි අවධානමක් පවතින පසුබිමක එරට ආරක්ෂාව තර්ජනයට ලක්ව තිබීම හේතුවෙන් .
එමෙන්ම, ඊශ්‍රායලය හා ඒ අවට කලාපයන්හි ගුවන් ගමන් අවලංගු කිරීම මෙන්ම ගමනාගමනයට ඇති විය හැකි බාධා සම්බන්දයෙන්ද ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.
මෙම යුධ ගැටුම් මේ වන විට ලෝක වෙළදපොළේ ඉන්ධන සහ රන් මිල කෙරහිද දැඩි බලපැමක් එල්ල කර තිබෙන බවට වාර්තා වනවා.ඒ මේ වන විට ලෝක වෙළද පොළේ ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බවට වාර්තා වනවා.
සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර, රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙසයි.
එම නව මිල මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙසයි දැක්වෙන්නේ.
එසේම ජපානයේ, හොං කොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇති බව සඳහන්.
මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් දැඩි විමසිල්ලකින් පසුවනවා.
