හාස්‍යානුකරණ කලා නිර්මාණයක් කළේයැයි පොලීසිය පුද්ගලයෙක් හිරේ දාලා! නීතිය අපැහැදිලියි! කලාවට සිරේ දැමීම බිහිසුණුයි!

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බව කියමින්, හාස්‍යානුකරණ නිර්මාණයක් සිදු කළ සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හාස්‍යානුකරණ හෙවත් පැරඩි කලාව මෙරට සහ ලෝක මට්ටමේ ප්‍රකට කලාත්මක ප්‍රකාශන මාදිලියක් වන පසුබිමක පුද්ගලයෙකු බුද්ධිමය දේපළ පිළිබද ගැටලුවක් හෝ ගීතයක් ‘විකෘති කිරීම‘ වැනි චෝදනා යටතේ අත්අඩංගුවට පත් කිරීමට අදාල නීතිය කුමක්දැයි පැහැදිලි නැහැ.

කලාත්මක නිර්මාණ පාදක කරගෙන පුද්ගලයන් සිරගත කිරීම රටක නිදහස සීමා කිරීමේ බරපතල තත්වයක් ලෙස ජාත්‍යන්තර මානුෂීය නීතිය මත සලකනවා.

රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන ‘සූර්ය මංගල්‍යය’ ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

මෙයට පාදක වී තිබුණේ ‘සුරි කෑරිය මංගල්ලේ‘ යන නමින් අන්තර්ජාලය තුළ අතිශය ප්‍රකට වූ හාස්‍යානුකරණ ගීතමය නිර්මාණයක්.

ඒ අනුව ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකයේ දී එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ගීතයක් ‘විකෘති‘ කළ බව පුද්ගලයෙකු අත්අඩංගුවට පත් කිරීම සදහා චෝදනාවක් වන්නේ කෙලෙසද යන්න තවම පොලීසිය පැහැදිලි කර නැහැ.

ටාසන් බාප්පා, දීපාල් සිල්වා ඇතුළු විශාල හාස්‍යානුකරණ ගීත නිර්මාණ ශිල්පීන් ප්‍රමාණයක් මෙරට සිටින අතර, වෙනත් ගීතවල තනු ආශ්‍රිතව නිරන්තරයෙන් මෙරට නිර්මාණ බිහි කරනු ලබන පසුබිමක, ගීතයක් අපරාධයක් බවට හැරවීමට පදනම් කරගත්තේ කෙබදු තත්වයක්ද යන්න රජයට පැහැදිලි කිරීමට සිදු වෙනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.

Author

Related Posts