ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලිපි ලේඛන අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඊයේ(09) පැමිණි පොලිස් නිලධාරීන්ට එම ස්ථානයට ඇතුළු වීමට හැකි වූයේ නැහැ.
ඒ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගේ පාර්ශ්වයෙන් පක්ෂ මූලස්ථානයේ ප්රධාන දොරටුවට ඉබි යතුරු දමා තිබීම හේතුවෙන්.
පැමිණිලිකාර පාර්ශ්වය වන පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්රපාල ද එම ස්ථානයට පැමිණි අතර ඔහුට ද පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට ඒ හේතුවෙන් අවස්ථාව අහිමි වුණා.
අනතුරුව වැඩබලන මහලේකම්වරයා ද ප්රධාන දොරටුවට ඉබි යතුරු දැමීමට පියවර ගත්තා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පරිපාලන කටයුතුවලට අදාළ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පසුගිය 5වැනිදා මරදාන පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ මරදාන පොලිසිය එම පක්ෂ මූලස්ථානයට ඇතුළුවීම අවහිර කිරීමට පියවර ගත් අතර පසුගිය 6වැනිදා සිටම කිසිවෙකුටත් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට අවස්ථාව ලැබුණේ නැහැ.
එවැනි පසුබිමක මරදාන පොලීසිය පැමිණිලි පාර්ශ්වය වන දුෂ්මන්ත මිත්රපාල මහතා ඇතුළු පිරිසටත්, පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්රීවරයා ඇතුළු පිරිසටත් අද පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙසට දන්වා තිබුණා.
නමුත් අද පක්ෂ මූලස්ථානයට පැමිණියේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා ඇතුළු පැමිණිලි පාර්ශ්වය පමණයි.
දුමින්ද දිසානායක මන්ත්රීවරයා ඇතුළු පිරිස නොපැමිණි නිසා පක්ෂ මූලස්ථානයේ ප්රධාන දොරටුව විවෘත කිරීමට නොහැකි වූ අතර එම අවස්ථාවේ පොලීසිය සහ වැඩබලන මහලේකම්වරයා ඇතුළු පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
අනතුරව වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා ද ප්රධාන දොරටුවට අගුළු දැමීමට පියවර ගත්තා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෙලෙස දැඩි අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇති පසුබිමක සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් අධිකරණය වාරණ නියෝගයක් ද නිකුත් කර ඇති පසුබිමක හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විදෙස් ගත වී තිබෙනවා.
