පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමේ රෙදිවලින් එලෙසම ඇඳුම් නිර්මාණය කරගෙන ටී 56 ගිනි අවිද සහිතව පෙළපාලියක නිරත වූ ගම්පහ ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් සම්බන්ධ විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.
මෙම නිල ඇඳුම් නිර්මාණය කළ රෙදි සාප්පු හිමිකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් පවසා තිබෙන්නේ පාසල් කැඩෙට් කණ්ඩායම් සඳහා නිල ඇඳුම් දෙකක් ඇති බවත් හමුදාවක හෝ විශේෂ බලකායක ඇඳුම් මෙලෙස භාවිතා කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් මෙම ක්‍රියාවට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවයි.
ශිෂ්‍ය භටයින් සඳහා සරඹ පෙළපාලි හා පුහුණු කටයුතුවලදී පොයින්ට් 2.2 වර්ගයේ පතුරම්වලින් පමණක් වෙඩි තැබිය හැකි අර්ධ ස්වයංක්‍රීය වෙනම අවියක් නිකුත් කර ඇති අතර මෙම සිසුන් අත්වල ටී56 ගිනිඅවි රැගෙන සරඹ පෙළපාලියට සහභාගි වී සිටීම ගැටලුවක් බවත් ස්වයංක්‍රීය ගිනි අවියක් ලබාදිය යුත්තේ පූර්ණ සංග්‍රාමික පුහුණුව ලත් ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට බවත් එම අවි පාසල් සිසුන්ට ලබාදුන්නේ කාගේ වුවමනාවකටද යන්න විමසා බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා කැළෑ නිල ඇඳුම 1983 බ්‍රිතාන්‍ය හමුදාව විසින් පොලිස් විශේෂ කාර්ය බලකායට පුහුණුව ලබා දීමේදි ලබා දුන් එකක් බවත් ලෝකයේ බ්‍රිතාන්‍ය හමුදාවේ SAS හමුදා ඛණ්ඩයට අමතරව මෙම නිල ඇඳුම ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය බලකායට පමණක් බවත් එහි අණදෙන නිලධාරී නි. පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පවසා තිබෙනවා.
තම බලකාය මෙම නිල ඇඳුමට ඉතා ගරු කරන බවත් යම් නිලධාරියෙකුට වසරකට නිල ඇඳුම් දෙකක් ලබා දෙන අතර යම් නිල ඇඳුමක් භාවිතයෙන් ඉවත් කරන්නේ නම් එය මූලස්ථානයට ලැබීමට සලස්වා කතුරකින් කපා ගිනි තබා විනාශ කරන බවත් ඔහු කියා සිටිනවා.
නිල ඇඳුම් පිටස්තරයන්ට පත්වීමෙන් සිදු විය හැකි අකටයුතු වැලැක්වීමට මෙසේ සිදුකරන බව පවසන ඔහු මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කර තිබුණා.
