අරගලය පැවති සමයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධීන් වලින් පසුව මාරුකර හරින ලද පොලිස් ස්ථානාධිපතිවරු පස්දෙනෙකුට ඔවුන්ගේ ජ්‍යේෂ්ඨත්වය අනුව සුදුසු පොලිස් ස්ථාන ලබා දීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අද(05) දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) පොලිස්පතිවරයා වෙත නියෝග කලා.
මෙසේ මාරුවීම් ලබා සිටින පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනකු විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අග විනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.
මෙම මෝසම ගොනු කරන ලද්දේ දන්කොටුව හිටපු පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර, දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඒ. ආර්. පෙරේරා, මීගමුව හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික වත්තේගම ඇතුළු පිරිසක් විසින්.
මෙහිදී පෙත්සම්කාර පොලිස් ස්ථානාධිපතිවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාරු වීම් ලැබූ තම සේවාදායකයින්ට සුදුසු පොලිස් ස්ථාන මේ දක්වා ලබාදීමට කටයුතු කර නොමැති බවට චෝදනා කර සිටියා.
ජනාධිපති නීතිඥවරයා විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට අධිකරණය මැදිහත් විය යුතු බවයි.
මෙහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පොලිස්පතිවරයාට හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළා.
ඊට අමතරව මේ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබුවා.
