වතු ජනතාවට ඉඩම් හිමිකම ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීම පිණිස විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අයවැය යෝජනා මගින් වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම යන මැයෙන් යෝජනාවක් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහාය ඇතිව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ සහ වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන්.
එම වැඩසටහන යටතේ ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය සතු වැවිලි සමාගම් වලට අයත් වතු වල ජීවත්වන ප්‍රතිලාභීන් 4151ක් හඳුනා ගනු ලැබ ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබාදීම පිණිස ජනාධිපතිවරයා සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවක් වු දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000කට මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මීට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රුපියල් 1,200ක වටිනාකමකින් යුත් වවුචර දැරියන් වෙත ලබාදීමට නියමිත බවයි.
මීට අමතරව ඇහැලේපොළ වලව්ව සහ ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මඟින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
