පොහොට්ටුවේ දෙවැනි ලොකුම තනතුරට නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ප්‍රධානම තනතුර වන, එහි ජාතික සංවිධායක ධූරයට එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ පත් කර ඇත.

එම පක්ෂයේ ප්‍රධාන තනතුර වන්නේ පක්ෂ නායක තනතුර වේ. එම තනතුර හොබවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවති පක්ෂ විධායක කමිටුවේදී උක්ත තීරණය ගෙන ඇත.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය මීට පෙර දරනු ලැබීය.

එම පක්ෂයේ අනෙක් ප්‍රධාන තනතුරු වන්නේ මහලේකම් ධුරය සහ සභාපති ධුරය වේ.

සාම්ප්‍රදායානුකූලව දේශපාලන පක්ෂවල සාමාජික සහ අනුබද්ධ සංවිධාන යාන්ත්‍රණය සමග ගනුදෙනු කරනු ලබන්නේ මහලේකම්වරයා වුව, පොදුජන පෙරමුණේ මහලේකම් ධුරය හොබවන නීතිඥ සාගර කාරියවසම් සීමිත බලතල හොබවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිසි ව්‍යවස්ථාවක් නොමැති අතර පක්ෂ සතු බලය නිර්වචනය කර නොමැත.

මීට පෙර පක්ෂයේ මැතිවරණ කටයුතු සංවිධානය කිරීම ඇතුළු සංවිධාන කටයුතු රැසක් හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සිදු කරනු ලැබීය. පක්ෂ කාර්‍යාලයේ ඇති ප්‍රධාන කාර්‍යාල කාමරය ඔහු වෙනුවෙන් වෙන් වී තිබුණි. එම කටයුතු ඉදිරියේදී නාමල් රාජපක්ෂ වෙත පැවරෙනු ඇත.

ඒ අනුව පියා සහ පුතා පක්ෂයේ ප්‍රධාන තනතුරු දෙකම දරණ තත්වයක් ඇති වනු ඇති අතර, මීට පෙර ශ්‍රීලනිප යටතේ සිරිමා බණ්ඩාරණායක සහ චන්ද්‍රිකා බණ්ඩාරණායක මව සහ දියණිය පක්ෂයේ ඉහළම තනතුරු දරණු ලැබීය.

Author

Related Posts