පොලීසිය විසින් වෙඩි තබා, නාරම්මල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. එය සිදුව ඇත්තේ මාර්තු 27 වැනිදා අළුයමදී. මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 28ක තරුණයෙක්වයි.

මීට පෙරද නාරම්මලදී පොලීසිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ අතර, එම සිදුවීමට අදාල වීඩියෝව ප්‍රසිද්ධ කර තිබුණා.
එම අවස්ථාවේදී සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබුණේ, අදාල සිදුවීම වීඩියෝ කර නොතිබුණේ නම් අපරාධකරුවෙකු පලා යෑමේදී වෙඩි තැබූ බව පොලීසිය විසින් මාධ්‍යවල ප්‍රචාරය කරනු ඇති බවක්.
නවතම වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම පිළිබද පොලිසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මංකොල්ලයකට පැමිණි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙය සිදුවූ බවයි.
ඇපල් වර්ගයේ ජංගම දුරකතන අලෙවිකරන බවට දැන්වීම් පළ කර, ඒවා මිලට ගැනීමට පැමිණෙන පිරිස් මංකොල්ල කෑමට උත්සාහ දරා ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසකට මෙසේ නාරම්මලට පැමිණ දුරකතන මිලට ගැනීමට එන ලෙස පවසා ඇති අතර, ඇති වූ සැකයක් මත ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
නාරම්මල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස කොල්ලකරුවන් පිරිස ඔවුන්ට දන්වා ඇති අතර එම ස්ථානයට පැමිණීමත් සමග කොල්ලකරුවන් ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී ඇතැයි පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ පොරබැඳීමක් අතරතුර පොලිස් නිලධාරීන් විසින් කොල්ලකරුවන් පිරිසට වෙඩි තබා තිබෙනවා
එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු රෝහල්ගත කිරීමේදී මිය ගොස් තිබෙන බව පොලීසිය පවසනවා.
එමෙන්ම කොල්ලකරුවන් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව මාධ්‍ය වෙත දැනුම් දී තිබෙනවා.
