ආනයනික ටින්මාළු සඳහා රුපියල් 550කට සමාන තීරුබද්දක් පැනවීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාවට කඩිනමින් අනුමැතිය ලබා ගන්නා ලෙස ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ සභපාති ශිරාන් ප්‍රනාන්දු මහතා පවසන්නේ වසර පුරාම ධීවර කටයුතු සිදු කළ හැකි රටට, ආනයනික මාළු හෝ ටින්මාළු අවශ්‍ය නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දේශීය ටින්මාළු නිෂ්පාදනය කරන ආයතන 16 ම මේ වනවිට වැසී යෑමට ආසන්නව ඇති බවයි.
එමෙන්ම තම සංගමය ජනවාරි මාසය තුළ ආනයනික ටින්මාළු සඳහා බදු වැඩි කරන ලෙස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණා නම් රජයට රුපියල් මිලියන 262ක ආදායමක් ලබාගත හැකිව තිබූ බවද ශිරාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා.
ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ පෙබරවාරි මාසයේ ආනයනික ටින්මාළු කෑන් විසි ලක්ෂ පනස්පන්දහසක් (2,055,000) රටට ගෙන්වා ඇති අතර කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබීමට ප්‍රමාද වුවහොත් තවත් ටින්මාළු තොග රටට පැමිණිය හැකි බවයි.
එමෙන්ම, ත්‍රිකුණාමලය ප්රමුඛ එම මුහුදු සීමාවේ මසුන් අස්වැන්න නිසි ලෙස නෙළා නොගැනීම නිසා එහි මාළු වයසට ගොස් මියයන බවත්, මෙරට මාළු අස්වැන්න නිසි ලෙස නෙළා නොගන්නා නිසා ඉන්දීය ධීවරයන් එම මත්ස්‍ය අස්වැන්න ලබාගන්නා බවත් ධීවර අමාත්‍යාංශය මැදිහත්වී එම අස්වැන්න නෙළා ගැනීමට නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද එම සංගමයේ සභාපති අවධාරණය කරනවා.
ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය තවදුරටත් සඳහන් කරන්නේ රටේ අවශ්‍යතාවට අවශ්‍ය මසුන් සහ ටින්මාළු මේ රටෙන්ම උපයා ගත හැකි වුවත් ඒ සඳහා මේ වනතෙක් නිසි ක්‍රමවේදයක් කිසිදු රජයකින් සිදු නොවීම කනගාටුදායක බවයි.
මේ අතර, ආනයනික ටින් මාළු සඳහා රුපියල් 550කට සමාන තීරු බද්දක් පනවන තෙක් ටින් මාළු ආනයනය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරුන් දෙපළක් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද වාර්තා වෙනවා.
ටින් මාළු සඳහා තීරු බදු පැනවීමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා සහ වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එය සම්මත වනතුරු ටින් මාළු ගෙන්වීම නවතා දමන ලෙසද එම අමාත්‍යවරුන් විසින් නිලධාරීන්ට උපදෙස් දුන් බව ධීවර අමාත්‍යාංශය ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
