පාස්කු ප්‍රහාරය වළක්වාගන්න නොහැකිව චෝදනා ඇති දේශබන්දු, මේ පාර පාස්කු ඉරිදා විශේෂ ආරක්ෂාවකට සැලසුම් හදයි!

පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවන් සඳහා කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට නීතිවිරෝධී ලෙස පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බවට වාර්තා වනවා.

ඒ අනුව එළඹෙන 29 වනදාට යෙදෙන මහ සිකුරාදා දිනයට සහ 31 වනදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති. කෙසේ වෙතත් මේ වන විට නීතිවිරෝධී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගත නොහැකි වීම පිළිබද චෝදනා ලබා සිටින්නෙක්.

කෙසේ වෙතත් බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේවමෙහෙයන්ට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයාබලන ලෙසටද එමගින් උපදෙස් ලබාදී තිබෙන බව පොලීසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටිනවා.

මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරිමට ප්‍රථමයෙන් එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරීක්ෂාවකට ලක් කිරීම, දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරීක්ෂාවකට ලකිරීමට අවශ්‍ය නම් පියතුමන්ලා සහ එම දේවස්ථානවල භාරකාර මණ්ඩල සමග සාකච්ඡා කොට ඒ සඳහා සුදුසු පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කිරිමටද නීතිවිරෝධී පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙන බව වාර්තාවල සදහන්.

මීට අමතරව මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය ත්‍රිවිධ හමුදා කඳවුරු භාර නිලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේද සහාය ලබාගැනීමට ක්‍රියා කරන ලෙසටත් නීතිවිරෝධී පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරනවා.

Author

Related Posts