විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය අත්හිටුවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (20) නියෝග කර තිබෙනවා.
ජයතුංග පටබැඳිගේ සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැති නීතිඥවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව සඳහන්.
අධිකරණයට අපහාස කිරීම සහ නීතිඥ වෘත්තීය ආචාර ධර්ම කඩකිරීම යටතේ චෝදනාපත්‍ර දෙකක් ඔහුට එරෙහිව කඩිනමින් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කෙරුණා.
එම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානසික විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඒ සම්බන්ධ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබෙනවා.
එසේම මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබෙනවා.
අනතුරුව අප්‍රේල් මස 3 වැනිදා නැවත ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබෙන අතර ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියමයන් සිදු කර තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සුපුරුදු පරිදි නඩු විභාග පවතින අතරතුර අදාළ නීතිඥවරයාගේ දේපොළ ආරවුලක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචන පෙත්සමක් සම්බන්ධයෙන් ඔහුම අධිකරණය හමුවේ පෙනී සිටිමින් පෞද්ගලිකව කරුණු දැක්වීම සිදු කර තිබෙනවා.
එහිදී ඔහු කියා සිටියේ මෙම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන්ට එරෙහිව තමන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බැවින් මෙම විනිසුරු මඬුල්ලට එම නඩුව විභාග කිරීමට හැකියාවක් නැති බවයි.
වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවට එම නඩුව යොමු කරන ලෙස ඉල්ලා සිටින බව ද අදාළ ඉල්ලීම ඇතුළත් මෝසමක් අධිකරණයට ගොනු කර ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
අනතුරුව දිගින් දිගටම ඔහු විනිසුරු මඬුල්ලට බාධා වන අයුරින් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නීතිඥවරයාගෙන් විමසා සිටියේ “මෙම විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් තමන් දක්වන ස්ථාවරය වෙනසක් තිබේද?” යන්නය.
එහිදී විත්තිකාර නීතිඥවරයා පවසා ඇත්තේ “මගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ.මෙම විනිසුරුතුමන්ලා ව්‍යවස්ථාපිත යුතුකම් චේතනාන්විතව කඩ කිරීම යටතේ මෙම විනිසුරුවරුන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරුවා.” යනුවෙන් ය.
විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විමසා ඇත්තේ “තමන් අගවිනිසුරුතුමාටත් එරෙහිව නඩුවක් ගොනු කරලා තියෙනවාද?” යන්නය
විත්තිකාර නීතිඥවරයා සඳහන් කර ඇත්තේ “ඔව් මම අගවිනිසුරුවරයාට එරෙහිව නඩු දෙකක් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළා.” යනුවෙනුයි.
මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම විත්තිකාර නීතිඥවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නිවැරදි කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවන් ලබා දී ඇති බවයි.
එහෙත් ඔහු එම අවස්ථාවන් වැරදි ලෙස භාවිත කරන බව ද විත්තිකාර නීතිඥවරයා නීතිපතිට විරුද්ධ නඩු දෙකක් ගොනුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර තිබෙනවා.
