ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් තුනක් පමණ එක්රැස් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාව පවසනවා.
මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එස්.රාජවීරන් මහතා පවසන්නේ එම මාර්ගයේ ගමන් ගන්නා වන්දනාකරුවන් රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරිමට කසල බදුන් සවි කර ඇති නමුත් ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් වතුර බෝතල් කසල බදුන් වලට බැහැර කලද තවත් වන්දනාකරුවන් පිරිසක් ප්ලාස්ටික් වතුර බෝතල් පරිසරයට මුදා හරින බවයි.

තවද වන්දනාකරුවන් රැගෙන යන පිසූ ආහාර ද්‍රව්‍ය අනුභව කර ඉවතලන කොටස් වර්ග කර, කැලි කසල බැහැර කිරීමට සකස් කර ඇති බඳුන් වලට බැහැර කරන ලෙසට උපදෙස් ලබා දි තිබුණද එම උපදෙස් ඇතැම් වන්දනාකරුවන් විසින් පිළි නොපදින බවද ලේකම්වරයා පවසනවා.
ශ්‍රී පාද වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නියේ කැලි කසල ප්රතිචක්රිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් එම ප්ලාස්ටික් වතුර බෝතල් පෞද්ගලික අංශය වෙත අලෙවි කරන බව එස්.රාජවීරන් මහතා තවදුරටත් පවසනවා.
