කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් සංචාරකයන් දෙදෙනකුට පහරදුන් බවට පැවසෙන සිදුවිම සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපර්තමේන්තුව පවසනවා.
නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයන් පිරිසක් ඊයේ (05) පෙරවරුවේ දී එම දුම්රිය ස්ථානයේදී පහර දුන් බවට නැගෙන චෝදනාවක් සම්බන්ධයෙන් මෙසේ වැඩ තහනම් කර තිබෙනවා.
එංගලන්තයේ සිට පැමිණි සංචාරකයන් කණ්ඩායමක ආරෝල් හා හැරිසන් යන දෙදෙනා හට මෙම පහර දීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹින් උදෑසන 5. 50 ට ගමන් ආරම්භ කරන පොඩි මැණිකේ දුම්රියට ඊයේ උදෑසන පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් සංචාරකයන් තිදෙනකු පැමිණ තිබෙනවා.
නාවලපිටිය දුම්රිය බලධාරීන් පවසන්නේ මොවුන් ඇල්ල දක්වා ගමන් කිරීම සඳහා දුම්රියට නැග තිබුණද ප්රවේශපත්ර රැගෙන තිබී ඇත්තේ එක් සංචාරකයකු පමණක් බවයි.
මොවුන් පළමු පන්තියේ ගමන් කිරීමේදී සිදු කළ ටිකට් පත් පරික්ෂාවේදී ප්රවේශපත්ර නොමැති බව දැක ඔවුන්ට දුම්රියෙන් බැසීමට පවසා තිබෙන නමුත් එය ප්රතික්ෂේප කිරීම නිසා දුම්රිය නියාමක විසින් ඒ බව නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත දන්වා තිබෙනවා.
එහි සිටි සියලු සේවකයන් පැමිණ මෙම සංචාරකයන්ට පහරදී දුම්රියෙන් එළියට ඇද දමන අයුරු කිසිවකු රූගත කර තිබු අතර මේ පිළිබඳව නාවලපිටිය පොලිසිය වෙතද දන්වා ඇති අතර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සංචාරකයන්ගේ ආරක්ෂාව සපයා ඊළඟ අංක 8 බදුල්ල දුම්රියෙන් ඔවුන් පිටත් කර තිබෙන බව සඳහන්.
