ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
අද (05) දින අවසන් කිරීමට නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින් කල්දැමීමට සිදුවන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
මේ අතර, ශ්‍රීලන්කන් ගුවන් සේවය රාජ්‍ය ආයතන වෙත ගෙවීමට නියමිතව තිබු අමෙරිකානු ඩොලර් මිලියන 510ක ණය මුදල රජය මඟින් පවරාගෙන, අනතුරුව එම ගුවන් සේවය සඳහා නව ආයෝජකයෙකු තෝරාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඒ අනුව ශ්‍රීලන්කන් ශේෂපත්ර තිබෙන ණය විශාල ප්‍රමාණයක් අමෙරිකන් ඩොලර් මිලියන 510කින් විතර අඩුකරන්න, ඒ බර රජය ගන්නට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා. ඊයේ ඒක අනුමත වුණා. හැබැයි රජය මේ අඩුකරන මුදල ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබෙන මුදල්වලින් අනිවාර්යෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ තියා ගන්න බෑ. ඒ මුදල භාණ්ඩාගාරයට ගෙවන්න ඕනේ කියන පදනම මත. එතකොට ජනතාවට වැටෙන හුඟාක් අඩුවෙනවා හොඳ ආයෝජකයෙක් ඇවිත්, හොඳ මුදලක් මේකට දුන්නොත්.
ඊට අමතරව ජනාධිපතිවරයා පැවසුවා මෙහි ඇති ද්‍රවශීලිතාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා. එදිනෙදා වැඩවලට අවශ්‍ය මුදල් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිඟ නිසා, ඩොලර් මිලියන 60 – 70ක වගේ ප්‍රමාණයක් ඉදිරි මාස 6 තුළ භාණ්ඩාගාරයෙන් ලබාදෙනවා කිව්වා. ගුවන් සමාගමේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුත්තට විශාල මුදලක් ජනාධිපතිවරයා විසින් දැන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ලබාදීලා තියෙනවා.”
