තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මහතා අභියාචනාධිකරණයට ගොනු කර ඇති අභියාචනයකට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා එම කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අද(05) මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මනුෂිකා කුරේ මහත්මිය විරෝධය පළ කළා.
පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරි නිලධාරීන්ට චෝදනා පත්‍ර දීම ගැන තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යංශය මුදා නොහැරීමට අදාලව සමාජය හා සාමයික කේන්ද්‍රය වෙනුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් තොරතුරු කොමිසමට මෙම මුල් අභියාචනය ගොනු කර තිබුණා.
අභියාචනය විභාග කර අදාල තොරතුරු එම අමාත්‍යංශයේ නොමැති බවට තොරතුරු කොමිසම කළ තීන්දුව නීතියට පටහැනි බැවින් එම තීන්දුව ඉවත් කර තොරතුරු මුදි හැරීමට නියෝග කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන මහතා විසින් මෙම අභියාචනය අභියාචනාධිකරණයට යොමු කර තිබෙනවා.
අද මෙම අභියාචනා පෙත්සම විනිසුරු ඩී එම් සමරකෝන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම මෙහි අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී තරිඳු ජයවර්ධන මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය තොරතුරු කොමිසම මෙම නඩුවට මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පල කළා.
තොරතුරු කොමිසමේ තීන්දුවලට එරෙහිව ලැබෙන අභියාචනා සඳහා කොමිසම මැදිහත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවලදී එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා කෙසේ වෙතත් අදාල ලේඛන ගොනු කිරීමට සඳහා කොමිසමට දින ලබා දුන්නා.
එම ලේඛණ ගොනු කිරීමෙන් පසු ඊට විරෝධතා ගොනු කිරීම සඳහා පෙත්සම්කාර මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන මහතාටද දින ලබා දුන් අධිකරණය පෙත්සම කැඳවීම ජුනි මාසය තෙක් කල්තැබුවා.
මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එහි පළමු වගඋත්තරකරු වූ මහජන ආරක්ෂක අමාත්‍යංශට නියෝග කර තිබුණද එම අමාත්‍යංශ අද දිනයේද පෙනී සිටියේ නැහැ.
ඒ අනුව ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි යැවීමටද නියෝග කළා.
තොරතුරු දැන ගැනීමේ කොමිසම සිය තීන්දුව ලබා දෙද්දී පනතේ ප්‍රතිපාදන මෙන්ම කොමිසම විසින්ම සකස් කරන ලෙස රීති ද උල්ලංඝනය කර ඇතැයි ද, කොමිසම නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැතැයි ද තරිඳු ජයවර්ධන මහතා සිය පෙත්සම මගින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
