දෙරටේම ධීවර අරගල ඇවිළෙද්දී, ඉන්දු-ලංකා ධීවර ගැටලු විසඳන්න ආයෙමත් සාකච්ඡා!

ඉන්දු – ලංකා ධීවරයන් අතර ඇතිව තිබෙන ගැටළුවට ස්ථිර විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කිරීමට දෙරට තීන්දු කර තිබෙනවා. මෙය වසර ගණනාවක් තිස්සේ, ධීවර ගැටලුව විසදීමට යැයි දෙරට අතර පවත්වන සාකච්ඡාවල නැවත වටයක්.

මෙම සාකච්ඡා අරඹා තිබෙන්නේ, නැවත වතාවක් දෙරටේම ධීවරයන්ගේ විරෝධතා ව්‍යාපාර, උපවාස සහ අරගල ආරම්භ වෙමින් තිබෙන පසුබිමක.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම නිසා මෙම අර්බුදය හට ගෙන තිබුණා. ශ්‍රී ලංකාවට ඉන්දීය ධීවරයන් ඇතුළු වීම නීතිවිරෝධී වන අතර, එම අර්බුදය විසදීමට ගත හැකි සරලම ක්‍රියාමාර්ගය වන්නේ මෙරටට ඇතුළු වෙන ඉන්දීය ධීවර යාත්‍රා ප්‍රමාණවත් මට්ටමෙන් අත්අඩංගුවට ගැනීමත්, එයින් පසු ධීවරයන් පමණක් නිදහස් කොට යාත්‍රා අධිකරණය හරහා ශ්‍රී ලංකාව විසින් රාජසන්තක කිරීමත් බව විෂය පිළිබද මැදිහත් වූ ධීවර සංගම් සහ විශේෂඥයන් පෙන්වා දෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හා ඉන්දීය මහකොමසාරිස් සංතෝස් ජා මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව නැවත වටයකින් ධීවර ප්‍රශ්නය විසදන බවට තීරණයට එළඹී ඇතැයි වාර්තා පළ වෙනවා.

ඉන්දීය ධීවරයින් මෙරට උතුරු මුහුදට අනවසරයෙන් ඇතුළු වී බොටම් ට්‍රෝලින් ඇතුළු නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කිරීම කාලයක පටන් සිදුවන අතර මෙම ක්‍රියාව ලංකාවේ ධීවරයන්ගේ විරෝධයට හේතුවී තිබෙනවා. බොටම් ට්‍රෝලිං ක්‍රමවේදය පාවිච්චි කිරීමේදී මුහුදු පතුලේ ඇති සම්පත් සම්පූර්ණයෙන් විනාශ වන අතර, මත්ස්‍ය බිත්තර මෙන්ම මත්ස්‍ය අභිජනන කලාප පවා විනාශ වෙනවා. ඉන්දීය මුහුදු කලාපයේ ධීවර සම්පත් විනාශ වී හමාර බවත්, යුද්ධයෙන් පසු දශකයකට වැඩි කාලයක් තිස්සේ ඉන්දීය ධීවරයන් ඇතුළු වී මෙරට සාගර කලාපයද විනාශ කරමින් පවතින බව ධීවරයන් පෙන්වා දී තිබෙනවා.

එලෙස නීති විරෝධීව පැමිණෙන ධීවරයන් අතරින් සාපේක්ෂව සුළු ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අතර මේ වන විට අත්අඩංගුවට ගත් ධීවරයන් 170 ට ආසන්න පිරිසක් බන්ධනාගාරව ගතව සිටිනවා.

එයින් කිහිප දෙනෙකුට පසුගිය දිනක මෙරට අධිකරණය විසින් දඩුවම් පැමිණ වූ අතර එයට විරෝධය පළ කරමින් ඉන්දිය ධීවරයින් පිරිසක් මේ වන විටත් උපවාසයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා. එහිදී ලංකාවේ ධීවරයන් සහ විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ දිළිදු ජන කොටස්වලට අයත් ධීවරයන්ට දඩුවම් කිරීම අවශ්‍ය නොවන බවත්, එම ප්‍රජාව සේවයේ යොදවමින් ලංකාවට පැමිණෙන ධීවර යාත්‍රා පමණක් මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගත යුතු බවත්. ධීවරයන් යළි ඉන්දියාව වෙත යැවීම ගැන මෙරට ධීවරයන් විරුද්ධ වන්නේ නැහැ.

මෙම ගැටලුව දෙපාර්ශවය සාකච්ඡා කරමින් තාවකාලිකව විසදා ගත්තද නැවත නැවතත් එම ප්‍රශ්නය ඇතිවන හෙයින් දීර්ඝ කාලීන ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහස බව වාර්තා කර තිබෙනවා.

ඉන්දීය රජයද එම අදහසට එකඟතාවය පළ කළ බැවින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ඉන්දීය මහකොමසාරිස් ඇතුළු කණ්ඩායම ඊට අදාලව සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ වන විට ඉන්දියාවේද බලපෑම මත, ශ්‍රී ලංකාවේ නව ධීවර පනතක් සම්මත කිරීමට රජය සූදානම් වෙනවා. මෙම ධීවර පනතින් ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකාව වෙත ඇතුළු වීමට නිත්‍යානුකූලවම ඉවසර ලබා දෙන බව ධීවරයන් පෙන්වා දෙනවා. ඒ අනුව, උතුරේ ධීවරයන් නව ධීවර පනතට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සූදානමින් සිටිනවා.

Author

Related Posts