ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු අඩුකිරීමට අදාළව මහජන උපයෝගිතා කොමිසම සමඟ පැවති සාකච්ඡා ඊයේ (01) දෙවැනි දිනටත් විසඳුමකින් තොරව අවසන්වී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ විදුලි බල මණ්ඩලය ඊට අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වූ බවයි.
මෙලෙස කල්යමින් තිබෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනයයි.
මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ නව ප්‍රතිපත්තිය අනුව 2023 වසරේ අවස්ථා 3කදී විදුලි ගාස්තු සංශෝධනය සිදු කර තිබුණා.
ඒ අනුව පෙබරවාරි 15 ගාස්තු වැඩිකිරීමකට, ජුලි 01 ගාස්තු අඩුකිරීමකට සහ ඔක්තෝබර් 20 නැවතත් ගාස්තු වැඩිකිරීමකට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නා.
අවසන් සංශෝධනය කළ ඔක්තෝබර් මාසයේ ගෘහස්ථ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව ඉහළ නැංවුණේ සියයට 18 ක ප්‍රතිශතයකින්.
කෙසේවෙතත් යහපත් ජල විදුලි ධාරිතාව සහ ලාභදායි තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු අඩුකිරීමට මණ්ඩලය මෙවර යෝජනාවක් ඉදිරිපත් කළත්, ඔවුන්ගේ දත්තවල සඳහන් වියදම් තවදුරටත් කප්පාදු කර නැවත වාර්තාවක් ලබාදෙන ලෙස උපයෝගිතා කොමිසම දැනුම්දී තිබුණා.
ලංකා විදුලි බල මණ්ඩලය නිකුත් කළ අතුරු මූල්‍ය වාර්තාවේ දැක්වුණේ 2023 අවසන් මාස 3 තුළ මණ්ඩලය රුපියල් බිලියන 156.2ක ආදායමක් උපයා රුපියල් බිලියන 77.9ක ‘බදු පසු ලාභයක්’ වාර්තා කර ඇති බවයි.
ඒ අනුව විදුලි ගාස්තු අඩුකිරීමට අදාළ සංශෝධිත යෝජනාව විදුලි බල මණ්ඩලය පෙබරවාරි 22 වැනිදා මහජන උපයෝගිතා කොමිසමට භාරදුන් අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින එහි නිලධාරීන්ව කොමිසමට කැඳවා තිබුණා.
පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා පැවති නමුත් විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව පිළිබඳ අවසන් තීරණයකින් තොරව සාකච්ඡා අවසන් වී තිබෙනවා.
මෙලෙස දෙවැනි දිනටත් කල් ගියේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනයයි.
