ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම අත්හිටුවයි

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල් සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගම මෙන්ම ලංකා හොස්පිටල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් මෙම අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණා.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම්වලින් පෙත්සම්කාර සමාගම් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු සියයට 50.23 ක කොටස් හා ලංකා හොස්පිටල්ස් ආයතනයේ සියයට 51.34ක් කොටස් පැවරීමේ ක්‍රියාවලියට අදාළව සුදුසුකම් ලැබීම සඳහා අයදුම්පත් තමන් විසින් වගඋත්තරකරුවන් වෙත ඉදිරිපත් කළ බවයි.

එහෙත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එම අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට වග උත්තරකාර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළ බව පෙත්සම්කාර සමාගම් චෝදනා කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අයුක්ති සහගත බව පෙන්වාදෙන පෙත්සම්කාර සමාගම් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තම අයදුම්පත් පිළිනොගැනීමට එම කමිටුව ගත් තීරණය නීතියට පටහැනි බව සිය පෙත්සම්වලින් පෙන්වා දී තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකට මාර්තු මස 12 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා

අනතුරුව මෙම අතුරු තහනම් නියෝග අධිකරණය විසින් නිකුත් කර තිබුණා.

පෙත්සම්කාර සමාගම් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත්ව සිටි බවයි වාර්තා වන්නේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading