ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සාමාජිකයින් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස පත් කරනු ලැබු දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතුරෙන් වැඩිම චෝදනා ලත් පොලිස් නිලධාරියා මෙන්ම මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නිලධාරියකු වන බව එම ලිපියේ සඳහන්.
තරිඳු ජයවර්ධන මහතා මෙම ලිපිය මඟින් පෙන්වා දෙන්නේ 2011 වසරේ සිට ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන තරිඳු ජයවර්ධන මහතා, 2021 වසරේ දී දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනයට ලක්වීම ගැන ශ්‍රී ලංකා පොලිසියට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර ඒ අතරින් මානව හිමිකම් කොමිෂන් සභා පැමිණිල්ල තවමත් විභාග වෙමින් තිබෙන පසුබිමක දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීම සිය ආරක්ෂාවට තර්ජනයක් බවයි.
තමන් ජනමාධ්‍යවේදියකු ලෙස දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මාධ්‍ය හමු දෙකකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් 2021 වසරේ දී අසනු ලැබූ ප්‍රශ්න දෙකකට උරණ වූ එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් තමාට තර්ජනය කළ බව ඔහු පෙන්වා දෙනවා.
ආයුද සන්නද්ධ හමුදා සාමාජිකයන් අතින් ඝාතනයට ලක්වීයැයි සැලකෙන එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට අත්වූ ඉරණම තමන්ටද අත්වනු ඇති බවට දේශබන්දු තෙන්නකෝන් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කළ බව ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම, මෙම ලිපියෙහි තරිඳු ජයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය වාර්තා කර ඇති පරිදි තෙන්නකෝන්ගේ පත්කිරීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දෙදෙනකු විරුද්ධව ඡන්දය භාවිත කර ඇති අතර සිව් දෙනකු පක්ෂව ඡන්දය භාවිත කර ඇති බවයි.
එමෙන්ම, ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනද උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා පොලිසියේ සිටින වැඩිම චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සදාචාර විරෝධීද වන බව පෙන්වා දෙන අතරම ව්‍යවස්ථා සභාවේ මෙම අත්තනෝමතික හැසිරීම සම්බන්ධයෙන් තරිඳු ජයවර්ධන මහතා සිය කණගාටුව සහ විරෝධය පළ කර තිබෙනවා.
අදාල ලිපිය පහතින්
