තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවන් අද(28) දින වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.
ඒ ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරස් කරමින් තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට ජලය ලබා ගැනීම නිසා තම වතුයායේ පදිංචිකරුවන්ට ජල ගැටළුවක් මතු වි ඇති බව පවසමින්.
තලවකැලේ, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පොම්පාගාරය වෙත බෙදා හරිමට අවශ්‍ය ජලය මෙතෙක් ලබාගෙන ඇත්තේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ සිට ග්‍රේට් වෙස්ටර්න් වතුයාය හරහා ඉහළ කොත්මලේ ජලාශයට ගලා බසින ඇළ මාර්ගයක් ග්‍රේට් වෙස්ටර්න් වත්තට අයත් ගල් කන්ද ප්‍රදේශයෙන් හරස් කරමින්.
තලවකැලේ ජල පොම්පාගාරය මඟින් මේ වන විට තලවකැලේ ලිඳුල ප්‍රදේශයේ පදිංචි ජල පාරිභෝගිකයන්ට අවශ්‍ය පානීය ජලය ලබාදෙන අතර , එම බල ප්‍රදේශයේ පදිංචි අලුත් පාරිභෝගිකයන්ට පානීය ජලය ලබාදිම සදහා මේ දිනවල ග්‍රේට් වෙස්ටර්න් ගල්කන්ද ප්‍රදේශයේ ඇළ මාර්ගය හරස් කරමින් ඉදි කර ඇති වේල්ල ජල සම්පාදන මණ්ඩලය මගින් කොන්ත්‍රාත්කරුවෙකු හරහා පුළුල් කිරිමේ කටයුතු සිදු කරනු ලබනවා.
උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් පවසන්නේ තලවකැලේ ජල පොම්පාගාරයට අවශ්‍ය ජලය ලබාගත් වේල්ලට ඉහලින් ගලා බසින ජලය ඊට පහලින් හරස් කර තම දෛනික කටයුතු වලට සහ වගා කටයුතු වලට යොදා ගත්තද වේල්ල තවදුරටත් වැඩිදියුණු කිරිම තුලින් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජලය නොලැබි යාමේ අවදානමක් මතු වි තිබෙන බවයි.
තම වතුයායේ පදිංචි පවුල් 350 කට පමණ අවශ්‍ය ජලය ජල සම්පාදන මණ්ඩලය මඟින් ලබා දී ඉතිරි ජලය තලවකැලේ ජල පොම්පාගාරය වෙත රැගෙන යාමට තමන්ගෙන් කිසිදු බාධාවක් නොවන බව උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් පවසනවා.
උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් ජලය රැස් කරන උපකරණ සහ සේදීමට ඇති ඇදි රෙදිපිළි තොගයක්ද රැගෙන විත් මෙම විරෝධතාවය පවත්වා තිබුණා.
