
එය කොපමණ බැලුවත් එපා වෙන්නේ නැති, දෑස්වලට කඳුළු එකතු කරන මොහොතක්. අවුරුදු පහකට කලින් මේ ඉසව්වේදීම, මානසික පීඩනයෙන් සිර වූ ශ්‍රී ලාංකික තරුණියක් වේදනාවෙන් හඬා වැටුණු හැටි මතක කෙනෙකුට, මේ මොහොතේ බර දැනෙනවා ඇති. අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ, මේ ජයග්‍රහණය දක්වා ඇති අඳුරු කතාවක්. ඒ අඳුර මැද ආලොකය සොයාගත් ධෛර්යවන්ත තරුණියන් කිහිපදෙනෙකුගේ කතාවක්.
තරුෂි ඉතා පරිණත සහ විශ්වාසවන්ත ලෙස තමන්ට වඩා දිගු කකුල් ඇති උසැති චීන ක්‍රීඩිකාව පසු කරමින්, ඇයට හීනෙන්වත් සිතන්නට බැරි ජවයක් සමග ඉසව්වේ අවසානය කරා ළඟා වෙද්දී, සුවහසක් ශ්‍රී ලාංකික තරුණියන්ට සැබෑ බලාපොරොත්තුවේ හැඟීමක් දැනෙන්නට ඇති. ඒ වගේම ලාංකික කාන්තා මීටර් 800 ලංකාවේ තරගකාරීම මළල ක්‍රීඩා ඉසව්ව බවට පත් කරපු හැම ක්‍රීඩිකාවකටම ඒ සතුට දැනෙන්න ඇති.
චීනයේ හන්ජෝ නුවර ඔලිම්පික් මධ්‍යස්ථාන ක්‍රීඩංගණයේ තිබුණු කාන්තා මීටර් 800 ඉසව්වේදී රන් පදක්කම දිනා ගන්න වයස අවුරුදු 21ක් වන තරුෂි කරුණාරත්න සමත් වුණා.
මෙය අවුරුදු ගණනාවකට පස්සේ ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් මොහොත. අවුරුදු 17කට පස්සේ ආසියානු උළෙලේදී පදක්කම් දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වෙනවා. මේ මීටර් 800 දිනලා විනාඩි කිහිපයකට පස්සේ මීටර් 400 සහාය දිවීමේ ඉසව්වටත් සහභාගී වෙලා ජයග්‍රහණය ලබා ගන්නට තරුෂි දායක වුණා. එතැනදී මීටර් 400 ඉසව්වේ විශිෂ්ඨ ක්‍රීඩිකාව වූ නදීෂා රාමනායක සිහි කරන්න ඕනෑ.
ශ්‍රී ලංකා ක්‍රීඩාවට අංක 800 වැදගත් වෙන්නේ මුත්තයියා මුරලිදරන්ගේ විකට් සංඛ්‍යාව. එහෙත්, ඇත්තටම අනාගත බලාපොරොත්තු තියන කෙනෙකුට කාන්තා මීටර් 800 ලංකාවට ඉතා වැදගත් අංකයක් වේවි. ඔලිම්පික් ජයග්‍රහණයක් දක්වා යන්නට ඒ ඉසව්ව වැදගත් වේවි.
මෙය තරුෂිගේ ජයග්‍රහණයක්. ඇයට ඒ ජයග්‍රහණය විඳින්නට ඉඩ දෙන්න ඕනෑ.
ඒ අතරේම, මේ ජයග්‍රහණය මෙතරම් විශේෂ වෙන්නේ ඇයිද කියා කියන්නත් ඕනෑ. මේ ජයග්‍රහණයේ ආඩම්බරය බෙදාගන්නට කිහිපදෙනෙකු ඉන්න බවත් කියන්න ඕනෑ.
පසුබිම් කතා ගොඩක් තියෙනවා. මීට අවුරුද්දකට කලින් තරුෂිලා කොලොම්බියාවේ තිබුණු ලෝක ශූරතා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට යන්න හිටියා. ඇයට ජුලි 30 වැනිදා වෙනකොටත් වීසා ලෑස්ති කරලා තිබුණේ නෑ. අන්තිමේ සමාජ මාධ්‍යවලින් ප්‍රවෘත්ති හුවමාරු කරලා තමයි අන්තිම මොහොතේ ඇය ඇතුළු කණ්ඩායම යවන්න පියවර ගත්තේ.
ලංකාව මේ වගේ තරුණ ක්‍රීඩිකාවකට උපරිමයට ළඟා වෙන්න පසුබිම හදන රටක් නෙවෙයි. දක්ෂතාව තිබුණාට මදි, ක්‍රීඩිකාවකට මානසික සැහැල්ලුවේ සිට- පෝෂණය- තරගකාරී තත්වයන් යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව සහ බොහෝ දේ තියෙන්න ඕනෑ. එහෙත් නොතිබුණේත් එයමයි.
මේ ජයග්‍රහණය ලබද්දී බොහෝ අය සිහිපත් කරනවා තරුෂිගේ පුහුණුකරුගේ දක්ෂතාව ගැන. මැණික්හින්නේ වළල ඒ. රත්නායක විද්‍යාලයේ මළල ක්‍රීඩාව ගොඩදැමූ පුහුණුකරු, දැන් ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ගැන. ඉතා දුෂ්කර තත්වයන් යටතේ අතිදක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ඔහුගේ යටතේ බිහි වූ බව නොරහසක්. ඒ වගේම තරුෂිගේ පවුලත් මේ ජයග්‍රහණයේ ආඩම්බරය විඳිනවා ඇති.
එහෙත්, මේ ජයග්‍රහණය බෙදාගන්න ඕනෑ අනෙක් පිරිස තමයි මේ ඉසව්ව ලංකාවේ අසීරුම මළල ක්‍රීඩා ඉසව්ව බවට හැරවූ එකිනෙකාට දෙවැනි වෙන්නැති සහෝදර ක්‍රීඩිකාවන්. ඒ හැමෝටම සතුටු කඳුළු නැගෙන්න ඕනෑ මොහොතක් මේ.
මීට කලින් 2018 මේ ක්‍රීඩා උළෙලේ මේ ඉසව්වම අවසානයේදී නිමාලි ලියනආරච්චි හඬා වැටුණු බව මතක ඇති. එය ඇයට දින්නනට තිබුණු මොහොතක්. එහෙත්, තිරය පසුපස කරුණු මතක අය, ඇයට එය දිනන්නට බැරි විදියට පසුබිම සැකසූ අයුරු අමතක කරන්නේ නෑ. නිමාලි සටන්කාරියක්. හඬ නගන්නියක්. ඇය සමග සිටිය යුතු වූ පුහුණුකරුට යන්නට අවස්ථාව නොදෙමින්, ඇයව ඒ ක්‍රීඩා ඉසව්වේදී තනි කරපු හැටි බොහෝ අය දන්නවා. ඒ ඉසව්වම තවත් සහෝදරියක් ජයගත් අයුරු, මේ ඉසව්වේ පෙළහර පෑ නිමාලි කොහේ හෝ සිට සතුටු කඳුලින් බලා සිටියාට නිසැකයි.
තරුෂි මාස කිහිපයකට කලින් ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දින්නා සේම, නිමාලි 2017 දී ආසියානු මළල ක්‍රීඩා ශූරතාවේදී රන් පදක්කම දින්නා. 2019 දී අවුරුදු 21ක් වූ ඩිල්ෂි කරුණාරත්න වළල ඒ රත්නායක විද්‍යාලයෙන්ම ඇවිත් සාග් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දින්නා. ගයන්තිකා අබේරත්න මේ දෙන්නාටම නොනවතින තරගයක් දුන්නා. පළමු වතාවට ඔලිම්පික් පරිසාධන මට්ටම ගැන බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවන් තුන්දෙනෙක් හිටියා.
එහෙත්, නිමාලි ඔලිම්පික් ගිය වෙලාවේ එදා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කතාවක් කරමින්, මෙරට මළල ක්‍රීඩාවේ වීරවරියක් වූ නිමාලිව හෑල්ලු කළේ ස්පයික් දෙක ලංකාවේ දාලා ඔලිම්පික් ගියපු නොසැලකිලිමත් ක්‍රීඩිකාවක් විදියට. නාමල් රාජපක්ෂ රග්බි ක්‍රීඩාවේ කරපු දේවල් ගැන අප මේ සටහනේ සිහිපත් කරන්නේ නැහැ. එහෙත්, නාමල්ගේ දිස්ත්‍රික්කයෙන්ම මතු වූ නිමාලි ලියනආරච්චි කළ කී දේවල් නාමල් නොදන්නවා වුව අප දැන සිටියා. නිමාලි, තමන්ගේ සපත්තු දෙක රැගෙන ගියත්, ඇයට තවත් සපත්තු දෙකක් මිලදී ගැනීමට අවශ්‍ය වී තිබුණා. එහෙත්, කොවිඩ් නිරෝධායන නීති නිසා ඇයට ක්‍රීඩා බුබුලෙන් එළියට යන්නට හැකියාව තිබුණේ නෑ. ඒ නිසයි ඇය ඉල්ලා තිබුණේ, කවුරුන් හෝ යවා සපත්තු දෙකක් මිලට ගන්න කියා.
කොහොම නමුත්, බාධා සහ කෙණෙහිලිකම් මැද නිමාලිලා- ගයන්තිකාලා මේ ඉසව්ව ගොඩනැගුවා. අපි නදීෂා රාමනායක සහ මීටර් 400 ගැන මෙහිදී වැඩිදුර කතා කරන්නේ නැහැ. එහෙත්, මීට ආසන්න කතාවක් මීටර් 400 කාන්තා ඉසව්වටත් තිබෙනවා. මැදි දුර කාන්තා දිවීමේ ඉසව්, ශ්‍රී ලංකාවට අනාගත පදක්කම් බලාපොරොත්තු තැබිය හැකි තැනක්.
මේ ඉසව්ව පෝෂණය කරන්නට පාලකයන්ට සැලසුම් තියෙන්න ඕනෑ. නිමාලි, ගයන්තිකා, ඩිල්ෂි වගේ නම් පසු කරමින් තරුෂිගේ නම ඉහළ රැඳෙන්නේ මේ ජයග්‍රහණය එක්ක. තරුෂි ඔලිම්පික් සුදුසුකම් ලබන එක, ඔලිම්පික්වලදී ඇගේ උපරිමයට යන එක, හැකි නම් පදක්කමක් දිනන එක ඊළඟ ඉලක්කය. එහෙත්, ඇතැම්විට මීටර් 400 හෝ 800 කාන්තා ඔලිම්පික් පදක්කම ලියැවෙන්නේ තරුෂිගේ නමට නොවෙන්නත් පුළුවන්. තව තරුණ ක්‍රීඩිකාවක් ඒ ජය ලබන්නත් පුළුවන්. එහෙත්, අද තරුෂි පසුපස නිමාලිලාගේ, ගයන්තිකාලාගේ වෙහෙස තියෙනවා මෙන්, හෙට කවුරු ඒ ඉසව්ව දින්නත් තරුෂිගේ නම ඒ පසුපස තියේවි. ශ්‍රියානි ධම්මිකා මැණිකේගේ සිට ජයග්‍රහණ ඒ පසුපස තියේවි.
කොහොම නමුත්, අපි එකක් මතක තියාගන්න ඕනෑ. අපට එකවර ඔලිම්පික් දිනන්න බෑ. ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා වීම, ඉහළම මට්ටමේ තරගයක් ඇති මට්ටමකින්, ජාතික වශයෙන් ඒ ඉසව්ව පවත්වාගෙන යෑම වැදගත්. මේක පඩිපෙලක් නගිනවා වාගේ වැඩක්. තරුෂි දැන් ඉහළ පඩියක පා තබා හමාරයි.
ඇයටත්, ඇගේ ඉසව්ව නියෝජනය කරන අනෙක් හැමෝටමත් පසුබිම සැකසීම ක්‍රීඩා පරිපාලනයේ වගකීමක්.