දේශබන්දුට එරෙහි තවත් පෙත්සමක් ඉවතට

පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 19 දින ප්‍රතික්ෂේප කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.

පෙත්සම්කරු අදාල සිදුවීමෙන් පසුව නිසි කාලසීමාව ඉක්ම යෑමෙන් අනතුරුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති බැවින් එය පවත්වාගෙන යෑමට අවසරදීමේ නීතිමය බලයක් නොමැති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට පවසා ඇත.

රයිට් ටූ ලයිෆ් සංවිධානය ගොනු කර තිබූ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල මෙම නියෝගය කර ඇති බවත් වාර්තාවේ සදහන් කර ඇත.


Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading