රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් විශාල ගුවන් යානා ගුවන්ගත කිරීමේදී පාර්ලිමේන්තුවට ඉහළින් ගමන් කිරීමට අවසර ලබාගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රත්මලාන ගුවන්තොටුපොළේ ධාවන පථය පාර්ලිමේන්තුව පිහිටි දිශාවට යොමුවී ඇති බැවින් විශාල ගුවන් යානා ගුවන්ගත කිරීමේදී පාර්ලිමේන්තුවට ඉහළින් ගමන් කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවක් එහි සංවර්ධනයට බාධාවක් වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
“මේක උඩින් යන්න කියලා තමයි අපේ යෝජනාව තියෙන්නේ. ඒක ඉතා ඉක්මනින්ම කරනවා. කවුරුහරි විරුද්ධ වෙනවා නම් දැන් කියන්න. මේක උඩින් ගියාම මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී හාස්යමයෙන් අදහස් ප්‍රකාශ කළා.
2027 අයවැය කතාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ගුවන් සේවා ක්ෂේත්රයේ යටිතල පහසුකම් සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය පිළිබඳව අදහස් දක්වමින්.
එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වාර්ෂික මගී ධාරිතාව මිලියන 6ක් පමණ වුවද දැනටමත් ඊට වැඩි මගීන් සංඛ්‍යාවක් හසුරුවන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
2032 වසර වන විට වසරකට මගීන් මිලියන 16ක් හසුරුවීමේ ධාරිතාවක් අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ඒ අනුව රුපියල් මිලියන 15,000ක ආයෝජනයකින් පළමු පර්යන්තයේ ධාරිතාව මිලියන 6 සිට මිලියන 9 දක්වා වැඩි කිරීමේ කටයුතු ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරය පැවසුවා.
එමෙන්ම ප්‍රමාද වී ඇති කටුනායක ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සහාය ඇතිව ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එම ව්‍යාපෘතියේ ප්‍රමාදය පිළිබඳව අදහස් දක්වමින්, “මේකත් අර වගේම දීලා ගිය පවුල් ජාලයක්. විසඳන්න තාම උත්සාහ කරමින් ඉන්නවා. මම හිතන්නේ දැන් ඉතාම ඉක්මනින් අවසන් අදියරට ඇවිත් තියෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවා.
එම ව්‍යාපෘතිය සඳහා ලැබෙන ණය මුදලේ පොලී අනුපාතය 0.1%ක් පමණ වන බවත් එම ණය මුදල යොදාගෙන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යායුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම ජාත්‍යන්තර ගුවන් මගීන්ට මෙරට දේශීය ගමනාන්ත වෙත පහසුවෙන් ගමන් කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ දේශීය ගුවන් පර්යන්තයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම රුපියල් මිලියන 800ක් ආයෝජනය කිරීමට නියමිත බවත් ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
යාපනයේ සිට පැමිණෙන ඇතැම් මගීන්ට විදේශයක සිට කටුනායකට පැමිණීමට ගතවන කාලයටත් වඩා කටුනායක සිට යාපනයට යාමට වැඩි කාලයක් ගතවන බවට පැමිණිලි ලැබෙන බවද ඔහු මෙහිදී පැවසුවා.
මේ අතර ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය පුළුල් කිරීම සහ ඒ අවට වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලමක් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසුවා.
මීට අමතරව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් රුපියල් මිලියන 400ක වියදමින් නව රථගාලක් ඉදිකිරීමටද සැලසුම් කර ඇති බව ඔහු පැවසුවා.
තවද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ හැසිරවීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබෙනවා.
පෞද්ගලික අංශයේ සහභාගීත්වයද ඇතිව ඉදිකිරීම්, මෙහෙයුම් සහ පවරාදීමේ පදනම මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර ගුවන් නියමු පුහුණුව, දේශීය, ව්‍යාපාරික සහ කලාපීය ගුවන් සේවා සඳහා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමටද සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පවසනවා.
ඒ අනුව දැනට පවතින ධාවන පථය ප්‍රතිසංස්කරණය කර එහි දිග මීටර් 1,400 සිට මීටර් 1,771 දක්වා වැඩි කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
රුපියල් මිලියන 6,000ක මෙම ව්‍යාපෘතිය 2027 වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ අරමුදල්වලින් සපයා ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
