පහළ කඩුගන්නාවේ සිට ගල විදපු ස්ථානය දක්වා දුම්රිය මාර්ගය හා මහා මාර්ගය අතර අක්කර 500 ක පමණ භූමි ප්‍රමාණයක් අස්ථාවරව පවතින බැවින් නාය යෑම සම්බන්ධයෙන් පවතින අවධානම පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
දිට්වා අවස්ථාවේ අදාළ භූමි ප්‍රදේශය තමන් නිරීක්ෂණය කළ බවත් එහිදී අදාළ ප්‍රදේශයේ පවතින අස්ථාවරත්වය සම්බන්ධයෙන් පැහැදිලි ලෙස කරුණු අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් ඒ මහතා කීය.
මෙම භූමි ප්‍රදේශයේ අස්ථාවර විශාල ගල් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන බවත් අධික වර්ෂාවත් සමඟ පස් සමඟ ප්‍රධාන මාර්ගයට පතිත වන්නේ එම ගල් බවත් කී මහාචාර්වරයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි ඉදිරියේ ඇතිවිය හැකි වැසි තත්ත්වයේ වර්ධනයත් සමඟ කඩුගන්නාව ආශ්‍රිතව නාය යෑම් වාර්තා වීමට වැඩි ඉඩක් පවතින බවද අවධාරණය කළේය.
දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාර්ගය බොහෝ දුරට පිහිටි පොළොව මත ගොඩනැගීමට ඉංග්‍රීසි ජාතිකයින් කටයුතු කර තිබෙන නමුත් ඇතැම් ස්ථාන වල අවධානමක් තත්ත්වයක් මතුව තිබෙන බව මේ වනවිට පෙනී යන බවත් දිට්වා අවස්ථාවේ නාය යෑමට ලක්වූයේ එම ස්ථාන බවත් ඒ මහතා කීය.
දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාර්ගය අතර බෑවුමේ ඇති අවධානම් සහිත ගල් මොනවාද යන්න Lidar තාක්ෂණය යොදා ගනිමින් හඳුනා ගැනීමට හැකි බවත් වැසි තත්ත්වය අඩුවීමත් සමඟ වගකිව යුතු ආයතන මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුව තිබෙන බවත් කී සේනාරත්න මහතා ඒ මොහොතට අවශ්‍යය ලෙස පැලැස්තර යොදා ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදිය නොහැකි බවද අවධාරණය කළේය.
