අගවිනිසුරු නීතිය දන්නෑලු! නැගෙනහිර විනිසුරුවරුන්ට ඉන්දීය බලපෑම්ලු!බුදුහාමුදුරුවන්වත් බේරගන්නවාලු! ඥාණසාරටත් උපවාස කරන්නලු! – කස්සපයෝ උමතුවෙන් කියති!

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට තමා නීතිය ඉගැන්වූ බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ ප්‍රකාශ කළහ. නැගෙනහිර පළාත පාලනය කරන්නේ ඉන්දියාව බවත්, විනිසුරුවරුන්ගෙන්ද එය පෙනෙන බවත් එහිමියෝ උමතුවෙන් මෙන් පැවසූහ.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි උපවාසයක් ආරම්භ කළ යුතු බවත් එහිමියන් අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසූහ.

තමාව අත්අඩංගුවට ගතහොත් අනෙකුත් හිමිවරුන් දෙනම සත්‍යග්‍රහය ඉදිරියට ගෙනයන බවත් පැවසූහ.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් සහ බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර රුවන්වැලිසෑය ආසන්නයේ ආරම්භ කළ මාරාන්තික උපවාසය අතරතුර නොවැම්බර් 11 වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණයටත් ඍජු විවේචන එල්ල වන ආකාරයෙන් තර්ක බුද්ධියට අනුචිත අදහස් රැසක් සහිතව එහිමියෝ මේ අදහස් වදාළෝය.

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පවතින නඩුවකට අද (11) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා විසින් කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස කස්සප හිමියන් නම් කර ඇති අතර, පොලිසිය විසින් සැකකරුවන් 14 දෙනෙකු අධිකරණයට නම් කර තිබේ. සැකකරුවන් නවදෙනෙකුට නොවැම්බර් 12 වැනිදා ත්‍රිකුණාමලය වරාය පොලිසියට ගොස් ප්‍රකාශ ලබාදෙන ලෙසද අධිකරණය නියෝග කර ඇත. නඩුව 2027 ජනවාරි 6 වැනිදා යළි කැඳවීමට නියමිතය.

මෙම වරෙන්තුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කස්සප හිමියන් පොලිසියට, මහේස්ත්‍රාත්වරුන්ට සහ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට දැඩි විවේචන එල්ල කළහ.

‘‘පොලිසිය කියන හැම අටමගලයක්ම ඇත්ත කියලා පිළිගන්න හොඳ නෑ මහේස්ත්‍රාත්වරු. ඉතින් වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ. පොලිසියට පුළුවන් අත්අඩංගුවට ගන්න. ඇවිල්ලා අත්අඩංගුවට ගන්න කියන්න. මොකද සිද්ධිය බලපුවහම පන්සලක බුදු පිළිමයක් තැන්පත් කරපු වරදට තමයි අපිව හිරේ දැම්මා. දැන් ඔය අත්අඩංගුවට ගන්න බලන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. අත්අඩංගුවට ගන්න කියන්න.

අපි දන්නවා ඔය අධිකරණයේ ප්‍රීති පද්මන් සූරසේන කියන අග්‍රවිනිශ්චයකාරයටත් මං ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ මනුස්සයට නීතිය කියලා දුන්නේ. ඒ මනුස්සයා නීතිය දන්නෙත් නෑ. අගවිනිසුරු, රටේ අගවිනිසුරු ධර්මය දන්නෙත් නෑ, නීතිය දන්නෙත් නෑ, ව්‍යවස්ථාව දන්නෙත් නෑ.’’

අධිකරණය සම්බන්ධයෙන් එලෙස දැඩි ප්‍රකාශයක් කළ උන්වහන්සේ, නන්දා මාලිනී ගායනා කරන ගීතයක අධිකරණය, නීතිය සහ විනිසුරුවරුන් පිළිබඳ විවේචනාත්මක පද පෙළක්ද උපුටා දැක්වූහ.

නැගෙනහිර දිස්ත්‍රික්ක තුන ඉන්දියාව පාලනය කරන බවට චෝදනා

අනතුරුව ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යටතේ පාලනය වන බවට චෝදනාවක් එල්ල කළ කස්සප හිමියන්, එම ප්‍රදේශවල කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට බලපෑමක් කළ නොහැකි බවද පැවසූහ.

‘‘ඉතින් අපි නිශ්චිතව පැහැදිලිව කියනවා, ඔය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, මඩකලපුව දිස්ත්‍රික්කය, අම්පාර දිස්ත්‍රික්කය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය යටතේ පාලනය වෙන්නේ. ලංකාවේ ජනාධිපතිට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ ඒ පළාතේ. මම දන්නවා නැගෙනහිර ගැන.

ඉතින් ඔය විනිසුරුවරු වෙන්න පුළුවන්, නීතිඥවරු වෙන්න පුළුවන්, ඔය කට්ටියම ඉතින් තීන්දු දිහා බලපුවහම අපිට පේනවා මොන මොන පැත්තටද නැමෙන්නේ කියලා.

ඒ නිසා අපි බය නෑ. අපි මරණය තෝරගෙන තියෙන්නේ. දැන් මරණයෙන් මෙපිට වෙන්න මොකක් හරි තියෙනවද? මරණයෙන් මෙපිට, ඒ කියන්නේ මරණයෙන් මෙපිට මොකක් හරි වෙන්න මුකුත් නෑනේ.

ඒ නිසා අපි ඉන්දියාවට මේ රට දෙන්නේ නෑ. අපේ මළමිනී මතින් තමයි ඉන්දියාවේ, මේ රට ලියලා දෙන්න වෙන්නේ අනුරට.

ඉතින් ඒ නිසා අපි ඕන දේකට මුහුණ දෙනවා. අත්අඩංගුවට පත්වෙන්න නියමිතයි නම් අත්අඩංගුවට පත්වෙයි. මාරාන්තික උපවාසය එලෙසින්ම යනවා.’’

ඥානසාර හිමි නිදහස් කිරීම මහානායක හිමිවරුන්ගේ වගකීමක් බව කියයි

තම උපවාසයට අදාළ කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන බව පැවසූ කස්සප හිමියන්, පළමු කොන්දේසිය ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට මහානායක හිමිවරුන් පියවර ගත යුතු බව ප්‍රකාශ කළහ.

මහානායක හිමිවරුන් ඥානසාර හිමියන් නිදහස් කරගැනීමට කටයුතු කරන බවට තමන්ට පොරොන්දුවක් දුන් නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා එවැනි ඉල්ලීමක් ලැබී නොමැති බව ප්‍රකාශ කර ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

‘‘කාරණා දෙකක්. මහනායක හාමුදුරුවෝ කිව්වා අපිට විහාරමහාදේවි උද්‍යානයට ලිපියකින් එවලා ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරනවා කියලා.

නලින්ද ජයතිස්සගෙන් කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ අහනකොට නෑ මහනායක හාමුදුරුවෝ එහෙම ඉල්ලීමක් කරලා නෑ කිව්වා.

මහනායක හාමුදුරුවරු දැනගන්න ඕනේ වචනය දුන්නා නම් වචනය රකින්න. ඒ නිසා මහනායක හාමුදුරුවෝ කරුණාකරලා සිව් නම එකතු වෙලා ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරගන්න වැඩේ කරන්න. ඒක පළවෙනි කොන්දේසිය.’’

ත්‍රිකුණාමලය, සාම්පූර් ඇතුළු ප්‍රදේශ ඉන්දියාවට ලබාදෙන බවට චෝදනා

දෙවැනි කොන්දේසිය ලෙස ඉන්දීය බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කළ කස්සප හිමියන්, ත්‍රිකුණාමල වරාය නගරයේ අක්කර 7,000ක් සහ සාම්පූර් ප්‍රදේශයේ අක්කර 8,000ක් ඇතුළු නැගෙනහිර ප්‍රදේශ රැසක් ඉන්දියාවට ලබාදීමට කටයුතු කරන බවට චෝදනා කළහ.

‘‘දෙවෙනි කොන්දේසිය, මේ ඉන්දියාව නටාගෙන එන නැටුම අපිට තේරෙනවා, තාලය අපිට තේරෙනවා.

ත්‍රිකුණාමලයේ වරාය නගරයේ අක්කර 7000යි, එහා පැත්තෙන් සාම්පූර්වලින් අක්කර 8000ක් දීලා, අරහෙන් වාන්ඇල පැත්ත දෙනවා, මෙහෙන් විහාරගල පැත්ත දෙනවා, මඩකලපුවේ දිවුලපතාන දෙනවා.

අපේ මහත්තයාට කියන්න කොන්සියුලර් කාර්යාලම තියෙනවනේ මහත්තයෝ පහක්, ඉන්දියාවේ මේ වර්ග කිලෝමීටර් මේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල පහක්.’’

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට ඉන්දියාවෙන් ලබාදීමට යෝජිත මුදල් සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් කළ උන්වහන්සේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එම මුදල් සිය රටේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා වැය කළ යුතු බව ප්‍රකාශ කළහ.

‘‘මේ රුපියල් බිලියන හාරදාහ මේ අනුරාධපුරයට වියදම් කරන්නේ, හදාගන්න කියන්න මෝදිට ඒ රටේ ඉන්න මිනිස්සුන්ට ලැට් එකක් හදලා දෙන්න කියන්න, වැසිකිළි ටික හදලා දෙන්න කියන්න.

දූවිල්ලෙන් පිරුණු නගර, මම ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා. පව් ඒ අහිංසක මිනිස්සු. අපිට පහළ වෙලා තියෙන සෙතේ!’’

‘‘ව්‍යවස්ථාදායකයටත්, විධායකයටත්, අධිකරණයටත් බය නෑ’’

තමන් කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ අධිකරණයට බිය නොවන බවත්, සිය ජීවිත පරිත්‍යාග කිරීමට පවා සූදානම් බවත් කස්සප හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

‘‘ඒ නිසා අපි ව්‍යවස්ථාදායකයට බයත් නෑ, විධායකයට බයත් නෑ, අධිකරණයට බයත් නෑ. මාරයාට බය නැති අපි ඕවට බය වෙයිද?

ඒ නිසා හිරේ විලංගුවේ දාන්න කියන්න, මරණය තෝරගෙන තියෙන්නේ. මරණය මරණ අපිව බය කරන්න ඔය කාටවත් බෑ.

ඒ නිසා අපි හිතනවා අපේ මරණයන්, අපේ ජීවිතයන්, අපේ ජීවිත දන්දීම් ඒ පරමත්ථ පාරමිතාව ක්වාන් ඩක් භික්ෂුව වගේ යම් දිනෙක සිංහල ජාතියට අනුස්මරණය වේවි.

ඉතින් ඒ වෙනුවෙන් අපි අපේ ජීවිත, නැත්නම් මැරුණු සිංහලයා නැගිට්ටවන්න ඉල්ලන්නේ අපේ ජීවිත නම් කිසි ප්‍රශ්නයක් නෑ අපි ජීවිත දෙන්න සූදානම්. හැබැයි ලේසියට දෙන්නේ නෑ.’’

තමන් අත්අඩංගුවට ගතහොත් අනෙකුත් භික්ෂූන් වහන්සේලා උපවාසය පවත්වාගෙන යන බවත්, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් සූදානම් කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

‘‘අපේ අරමුණ තිබුණේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරගන්න එක. දෙවෙනි අරමුණක් වශයෙන් තියෙන්නේ අනුරාධපුර පූජා නගරයේ බුදුහාමුදුරුවන්ව බේරගන්න එක.

මාව හිරේ දැම්මොත් අපේ ස්වාමීන් වහන්සේලා එතනම අඛණ්ඩව ඒ මාරාන්තික උපවාසය කරගෙන යනවා.

මේ තුන් නමයි ඉන්නේ. ඒගොල්ලන්ට හිතාගන්න බෑ අපේ ප්‍රමාණය කොච්චරද කියලා. ඒගොල්ලෝ හිතන් ඇති ඒගොල්ලන්ගේ උපවාස වගේ කියලා මේවා.

බලන්නකෝ ලංකාවට අපි උගන්වන්නම් උපවාස කරන්නේ කොහොමද මාරාන්තික උපවාස කියලා.

ඒ නිසා උපවාසය නවතින්නේ නෑ. අපි සියල්ල දන්නවා, සියල්ල දැනගෙන තමයි කටයුතු කරලා තියෙන්නේ.

මම අත්අඩංගුවට පත්වුණොත් ඊළඟ නායකත්වය භික්ෂූන් වහන්සේලා ගනීවි. ඒක අපි ‘යෙලෝ මූව්මන්ට්’ (Yellow Movement) එක විදිහට තීරණය කරලා අවසන්.

උන්වහන්සේලාත් අත්අඩංගුවට ගත්තොත් ඊළඟ කණ්ඩායම සූදානම්. උන්වහන්සේලාත් අත්අඩංගුවට ගත්තොත් ඊළඟ කණ්ඩායම සූදානම්. කණ්ඩායම් වශයෙන් සූදානම්, වැඩි ඕනේ නෑ.

ඥානසාර හාමුදුරුවන්ටත් වගකීමක් තියෙනවා අපිට දුන්නු වචනය අනුව උන්වහන්සේත් උපවාසය පටන් ගන්න. උන්වහන්සේලා අපිත් එක්ක එකඟතාවයක් තියෙනවනේ.

ඒක උන්වහන්සේටත් දැන් පටන් ගන්න කාලය, දීපය, දේශය හරි.

මාධ්‍යයෙන් උන්වහන්සේ මේක දකිනවා නම් මම ආරාධනා කරනවා අපි කතා කරගත්තු විදිහට ඥානසාර හාමුදුරුවනේ ඔබවහන්සේ ඔබවහන්සේගේ වගකීම කරන්න. අපි අපේ වගකීම කරනවා.

අනිවාර්යයෙන් අපි ඔබවහන්සේ එළියට ගන්නවා. ඔබවහන්සේ එළියට ගන්න බැරි වුණොත් මම අපවත් වෙයි.

අපේ කාර්යයත්, අපේ ආයුෂත් අරගෙන ඥානසාර හාමුදුරුවෝ ඔබවහන්සේ සිංහල ජාතිය, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන වගකීම ඉෂ්ට කරන්න.

එච්චරයි අපිට කියන්න තියෙන්නේ.’’

Author

Leave a Reply

Related Posts