උතුරටත් මෙට්‍රෝ

බස්නාහිර පළාත මුල් කරගනිමින් ආරම්භ වූ නවීන මෙට්‍රෝ බස් සේවාව කොළඹින් පිටතට ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, යාපනය දිස්ත්‍රික්කය තුළ එහි මූලික මාර්ග පරීක්ෂණ ධාවනය සහ ක්ෂේත්‍ර නිරීක්ෂණ කටයුතු ඊයේ (10) සාර්ථකව සිදු කර තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් යාපනය වෙරළ පාරේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම පරීක්ෂණ ධාවනය ආරම්භ කර තිබේ. පහත් පතුල සහිත (Low-floor) නවීන මෙට්‍රෝ බස් රථ ධාවනය සඳහා සුදුසු මාර්ග හඳුනාගැනීම, නව බස් නැවතුම්පොළවල් ස්ථාපනය කිරීම සඳහා සුදුසු ස්ථාන තීරණය කිරීම සහ පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් සැපයීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බව ප්‍රවාහන,මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම මෙහෙයුම් පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර ඇත්තේ, කොළඹ නගරය ආශ්‍රිතව බස් රථ 10ක කුඩා නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙට්‍රෝ සේවාව මේ වනවිට බස් රථ 122ක් දක්වා වර්ධනය වී ඇති බවයි. කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක 03 ආවරණය කරමින් දැනට මාර්ග 07ක මෙම සේවාව ක්‍රියාත්මක වේ.

බස්නාහිර පළාතේ සාර්ථකත්වය පදනම් කරගනිමින් දෙවන පියවර ලෙස මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක තෝරාගෙන ඇති අතර, ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කය දක්වා ද මෙට්‍රෝ සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන,මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Author

Leave a Reply

Related Posts