සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහිව පැවති නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට සෞදි අභිචෝදක කාර්යාලය තීරණය කර ඇති බවත් ඒ අනුව ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කර ඉදිරි සතියක් හෝ දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවත් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.
අනෝජන් සිවරාසා නමැති මෙම ශ්‍රී ලාංකික තරුණයා පසුගිය ජූලි මාසයේ මුලදී සෞදි අරාබි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ෆේස්බුක් සටහනක් තැබීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නැගුණු චෝදනාවක් මතයි.
එම චෝදනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සෞදි අරාබියේ ප්‍රාථමික උසාවිය මගින් ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩ මුදලක් ගෙවන ලෙස පළමු දඬුවම නියම කෙරුණා.
ඉන්පසුව අභියාචනාධිකරණය මගින් එම නඩුව නැවත විභාග කිරීමෙන් අනතුරුව පසුගිය සැප්තැම්බර් මස 17 වැනිදා අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කරනු ලැබුවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ නීතිඥ කණ්ඩායම සහ සෞදි අරාබියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වීම හේතුවෙන් ඔක්තෝබර් මස 13 වැනිදා එම මරණ දඬුවම් තීන්දුව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඔහුව මරණ දඬුවමින් නිදහස් කර ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පැවසුවා.
අනතුරුව ඔක්තෝබර් මස 27 වැනිදා සුප්‍රීම් උසාවිය විසින් මෙය නව නඩුවක් ලෙස ප්‍රාථමික උසාවියට නැවත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අතර ඊට අදාළවද ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කර තිබුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය නොවැම්බර් මස 09 වැනිදා සෞදි අභිචෝදක කාර්යාලය විසින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීරණය කර ඇති බවත් ඒ අනුව මේ වන විට ඔහුට එරෙහිව සෞදි උසාවියේ කිසිදු නඩුවක් නොමැති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා.
මරණ දඬුවමට ලක්ව සිටි අනෝජන් සිවරාසා මාස හතරක් හතරහමාරක් වැනි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔහු දැනට තවදුරටත් අත්අඩංගුවේ පසුවන නමුත් නිදහස් කිරීමේ තීන්දුව ලබාදී ඇති බව කියා සිටියා.
ඒ අනුව අදාළ උසාවි තීන්දුව හිර කඳවුර වෙත දැනුම් දීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් සෞදි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පිටවීමේ ලියකියවිලි භාර දීමට නියමිත අතර ඉන් අනතුරුව සතියක් හෝ දෙකක් ඇතුළත ඔහුව ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා පවසන්නේ, මෙම ඓතිහාසික නිදහස් කර ගැනීම සඳහා මානුෂීය පදනමින් නඩුව ඉදිරියට ගෙන නොයෑමට තීරණය කළ සෞදි අරාබි රජයටත්, සෞදි අධිකරණ අමාත්‍යාංශයටත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ස්තූතිය පුද කරන බවයි.
එමෙන්ම මුල සිටම උපදෙස් හා මගපෙන්වීම ලබා දුන් ජනාධිපතිතුමාටත්, ස්වේච්ඡාවෙන් මැදිහත් වූ නීතිඥවරුන්ටත්, රියාද් තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු නිලධාරීන්ටත්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ඇතුළු දිවා රාත්‍රී නොබලා කැපවූ නිලධාරීන්ටත් ස්තූතිවන්ත පළ කරන බව ඔහු පැවසුවා.
මෙම සිදුවීම ජාතිවාදී ප්‍රශ්නයක් දක්වා දුරදිග යාමට ඉඩ නොදී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එක්ව සහයෝගය දැක්වීම හරහා ජාතික සමගිය පිළිබඳව ලෝකයටම නව පණිවිඩයක් ලබා දුන් බවත් අනෝජන්ගේ මව, පියා විශේෂයෙන්ම ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී සහ සහෝදරයා ඇතුළු පවුලේ අය ඉතා ඉවසීමෙන් කටයුතු කළ බවද අමාත්‍යවරයා පවසනවා.
මෙම සිදුවීම විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට නව පාඩමක් කියා දී ඇති බව පැවසූ විජිත හේරත් මහතා, මැදපෙරදිග හෝ වෙනත් කිසිදු රටකට යන විට එම රටේ පවතින නීතියට අනුව ජීවත් වීමටත් රැකියාව කිරීමටත් වගබලා ගත යුතු බවත් මින් මතුවට මෙවැනි වැරදි සිදු නොවන ආකාරයට කටයුතු කළ යුතු බවත් විදේශගත වන තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියා..
