හෝමාගම තරුණයාගේ ඥාතීන්ගෙන් පොලීසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි!

හෝමාගම පොලිස් සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නැමැති එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සහ ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් තරුණයාට පහරදීම සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද (26) දිනයේදී පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ සහෝදරයා සහ ඔහු සමඟ අත්අඩංගුවට පත්වූ 34 හැවිරිදි තරුණයාගේ බිරිඳ විසින් මෙම පැමිණිලි දෙක ගොනු කළා.

මියගිය තරුණයාගේ සහෝදරයා ඉදිරිපත් කළ පැමිණිල්ලෙහි සඳහන් කර ඇත්තේ, 2026 ඔක්තෝබර් 25 වන දින උදෑසන 6ට පමණ තම සහෝදරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ පිළිබඳ දැනගත් පසු සහෝදරයාව දැකබලා ගැනීම සඳහා හෝමාගම පොලීසියට ගියද රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඊට ඉඩ ලබාදී නොමැති බව එහි සඳහන් වනවා.

පසුව පෙරවරු 10ට පමණ පොලිස් නිලධාරීන් විසින් තම සහෝදරයා අපරාධ විමර්ශන අංශයේ සිට ඇදගෙනවිත් සිරමැදිරිය තුළට දමා ඇති අතර ඒ වන විටත් ඔහුගේ හිසෙන් ලේ ගලමින් තිබූ බවත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සහෝදරයා බැලීමට සිරමැදිරිය අසලට ගියද කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා බිම වැටී සිටි බවත් පැමිණිල්ලේ සඳහන්.

සිරමැදිරියේ සිටි අනෙක් පුද්ගලයා වතුර ස්වල්පයක් ගෑවද ඔහු නැගිට නැති බවත් ඉන් අනතුරුව පැමිණි පොලිස් ජීප් රථයකින් ඔහුව ඔසවාගෙන හෝමාගම මූලික රෝහල වෙත රැගෙන ගිය බවත් එහි සඳහන් වනවා.

රෝහල් කාර්ය මණ්ඩලය පරීක්ෂා කර බැලීමේදී තම සහෝදරයා ඒ වන විටත් මියගොස් සිටි බව තහවුරු වූ බව සඳහන් කරන ඔහු පවසන්නේ, මෙම ඝාතනයට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සාධාරණය ඉටුකර දෙන ලෙසයි.

මීට අමතරව ඔහු සමඟ අත්අඩංගුවට ගත් 34 හැවිරිදි අනෙක් තරුණයාගේ බිරිඳ කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ, තම සැමියාට හෝමාගම පොලීසිය තුළදී අමානුෂික ලෙස පහරදී අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට හෝ ඉදිරිපත් නොකර බන්ධනාගාරගත කර ඇති බවත් නීතිඥ සහාය ලබාගැනීමට හෝ අවස්ථාවක් ලබා නොදුන් බවයි.

හෝමාගම පොලීසිය මඟින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී කිරිවත්තුඩුව, මුණමලේවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නැමැති එක්දරු පියා සහ තවත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටියදී මෙම මරණය සිදු වුණා.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, අත්අඩංගුවේදී යම් අනීතික පහරදීමක් සිදුව ඇත්නම් තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා බවත් අනෙක් තරුණයා අතුරුදන් කර ඇති බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ අතර හෝමාගම මූලික රෝහල් පරිශ්‍රයේදී ප්‍රදේශවාසීන් සහ ඥාතීන් රැස්ව විරෝධතාවල නිරත වීමෙන් දැඩි උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබුණා.

මේ අතර මියගිය ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයාට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කළ බවට මියගිය අයගේ මව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින්චෝ දනා කළා.

ඇය සඳහන් කළේ, පෙරේදා දින පෙරවරුවේ ලැබුණු දුරකථන ඇමතුමකින් ඔහු පොලිස් භාරයට ගත් බව දැනුම් දුන්නද ඒ වන විටත් රාත්‍රිය උදාවී තිබූ බැවින් එදින පොලීසියට යාමට නොහැකි වූ බවත් අනතුරුව ෛඊයෙ දින උදෑසන පාන්දරින්ම තමන් තම දියණිය සහ සිඟිති දරුවා සමඟ හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානය වෙත ගොස් පැයක පමණ කාලයක් බලා සිටි බවයි.

එහිදී තම බෑණනුවන්ව තවත් පුද්ගලයෙකු සමඟ මාංචු දමා අපරාධ විමර්ශන අංශය වෙත රැගෙන යනු සියැසින් දුටු බවත් ඇය සඳහන් කළා.

අපරාධ විමර්ශන අංශය තුළ පැය එකහමාරක පමණ කාලයක් රඳවාගෙන සිටීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් හයදෙනෙකු විසින් ඔහුව අතපයින් උස්සා බිම දිගේ ඇදගෙන විත් සිරමැදිරිය තුළට අතහැර දැමූ බව මව පෙන්වාදුන්නා.

ඒ වන විටත් ඔහුගේ හිසෙන් අධික ලෙස ලේ ගලමින් තිබූ බවත් සිද්ධාර්ථ තෙල් ස්වල්පයක් හෝ පැන්ඩෝල් පෙත්තක් ලබාදීමට ඉල්ලූ අවස්ථාවේදී “නැහැ මොකුත් ඕන නෑ.ළඟට යන්න දෙන්න බෑ” යනුවෙන් පවසමින් පොලීසිය ඊට දැඩි ලෙස බාධා කළ බවත් ඇය පැවසුවා.

අවම වශයෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි තරුණයාට පානය කිරීමට වතුර උගුරක්වත් ලබාදීමට ඉඩ නොදුන් බවද ඇය කියා සිටියා.

උදෑසන සිටම රෝගී තත්ත්වයෙන් පෙළුණු ඔහුව කඩිනමින් රෝහල්ගත කරන ලෙස ඥාතීන් දිගින් දිගටම බැගෑපත්ව ඉල්ලා සිටියද පොලීසිය ඔහුව රෝහලට රැගෙන ගියේ සවස් කාලයේදී බව ඇය සඳහන් කළා.

එමෙන්ම පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ තමන්ගේම දෙපයින් නිරෝගීව ඇවිද ගිය තරුණයා නැවත රැගෙන එන විට මුහුණ තැළී අත්වල ඇඟිලි නිල් පැහැ ගැන්වී කකුල්වලින් ඇදගෙන එන තත්ත්වයකට පත්ව සිටි බව ඇය පැවසුවා.

රෝහලට රැගෙන ආ පසුත් ඔහුට සේලයින් හෝ ඔක්සිජන් ලබාදීමට තරම් අවස්ථාවක් නොතිබූ බවත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

තවද රෝහලේදී සිදුවූ කරුණු වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී රෝහල් පොලීසියේ නිලධාරීන් සිය ජංගම දුරකථනයද බලහත්කාරයෙන් උදුරාගත් බවට මියගිය තරුණායාගේ මව චෝදනා කළා.

මිනිසුන් තමන් විසින්ම තමන්ට පහර නොගන්නා බවත් පොලීසිය විසින් සිදුකරන ලද අමානුෂික පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවත් අවධාරණය කළ ඇය, පොලීසිය සැමවිටම සිය නිලධාරීන්ගේ පාර්ශ්වය ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන බැවින් මෙම අසාධාරණය හමුවේ සාධාරණය බලාපොරොත්තුවෙන් සත්‍ය තොරතුරු මෙලෙස මාධ්‍ය වෙත හෙළි කිරීමට තීරණය කළ බව සඳහන් කළා.

Author

Leave a Reply

Related Posts