සේප්පුවේ කම්බිනේෂන් එක මතක නැහැ කිව්වම ඒක අරන් ගියා! – නාමල්ගේ ලේකම් තමන්ට කියූ දේ සාගර එළියට කියයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතාගේ ගල්කිස්ස නිවසට රාත්‍රි කාලයේ පැමිණි පිරිසක් බලහත්කාරයෙන් තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී එහි තිබූ සේප්පුවේ රහස් අංකය මතක නැතැයි පැවසූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ වරෙන්තුවක් පෙන්වා අදාළ සේප්පුව භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

පෞද්ගලික නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, අත්අඩංගුවට පත්වීමට පෙර සංජය සමරසිංහ මහතා තමන් සමඟ සිදුවූ සිදුවීම විස්තර කළ බවයි.

ඒ අනුව රාත්‍රි 10 ට පමණ සිවිල් ඇඳුමෙන් සහ පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් නිවසට පැමිණ දොර අරින ලෙස බලකර ඇති බවත් එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින පුද්ගලයන් පැමිණෙන බැවින් බියෙන් පසුවූ ලේකම්වරයා උදෑසන පැමිණෙන ලෙස ඉල්ලා ඇති බවත් සාගර කාරියවසම් මහතා පවසනවා.

කෙසේ වෙතත් අදාළ පිරිස බලහත්කාරයෙන් තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වරෙන්තුවක් පෙන්වා මුළු නිවසම සෝදිසි කර ඇති බව ඔහු සඳහන් කළා.

එහිදී නිවසේ තිබූ පැරණි කම්බිනේෂන් සේප්පුවක් පරීක්ෂා කර ඇති බව පැවසූ සාගර කාරියවසම් මහතා, එහි රහස් අංකය මතක නැති බව ලේකම්වරයා පැවසීමෙන් පසු නිලධාරීන් එය විවෘත කරන ලෙස දැඩි ලෙස බලකර ඇති බව පවසනවා.

පසුව එම සේප්පුව තුළ මුදල් වගයක් තිබූ බවත් කාර්යබහුලත්වය නිසා එය විවෘත කරගැනීමට නොහැකි වූ බැවින් පොලීසියට ගෙනගොස් භාරදීමට තමන් සූදානමින් සිටි බවත් ලේකම්වරයා තමන්ට පැවසූ බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් සාගර කාරියවසම් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ තමන් දන්නා තරමින් අදාළ සේප්පුව පොලීසියට ගෙනගොස් භාරදෙන ලද්දේ ද ලේකම්වරයා විසින්ම බවයි.

මේ අතර සාගර කාරියවසම් මහතා නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ චෝදනා පිළිබඳවද අදහස් පළ කළ සාගර කාරියවසම් මහතා, එම චෝදනාවෙන් නාමල් රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කළා.

එමෙන්ම එයාර්බස් සමාගමෙන් දූෂණ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුදල මිලියන 100 ක් බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව මිලියන 10 ක චෝදනාවක් එල්ල කර ඇති බවත් පැවසූ ඔහු පෙන්වාදෙන්නේ, ඒ අනුව මිලියන 100 ය, 70 ය සහ 10 ය එකතු වූ විට සමස්තය මිලියන 180 ක් වන නමුත් අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් මිලියන 600 ක් ලබාගෙන ඇති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading