ජීවන වියදම ඉහළ යෑම, අධ්යාපන පද්ධතියේ අර්බුදය සහ රාජ්ය සේවාවල පිරිහීමට එරෙහිව ප්රංශය පුරා පැතිරුණු දැවැන්ත ජනතා විරෝධතා ප්රචණ්ඩ ගැටුම් බවට පත්වීමෙන් පසු පැරිස් අගනුවර ඇතුළු නගර ගණනාවක ඇඳිරි නීතිය පැනවීමට එරට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.
සතිඅන්තයේ පැවති විරෝධතා පාලනය කිරීමේදී පොලිසියට ඇතැම් නගරවල පාලනය අහිමි වූ බවට ප්රංශ අභ්යන්තර කටයුතු අමාත්ය ලෝරන්ට් නුනෙස් පිළිගෙන ඇති බවත් එහි වගකීම භාරගනිමින් ඔහු ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම ජනාධිපති එමානුවෙල් මැක්රොන් ප්රතික්ෂේප කර ඇති බවත් විදෙස් මාධ්ය වාර්තා කළා.
ඔක්තෝබර් 20 අලුයම වන විට ප්රංශයේ අගනුවර වන පැරිසිය, ලීල්, ලියොන්, නීස් සහ තවත් නගර ගණනාවක විශේෂ ආරක්ෂක සීමා ක්රියාත්මක කර තිබෙනවා.
පැරිසියේ Place de la Republique චතුරස්රය සහ Les Halles වෙළෙඳ කලාපය ආශ්රිත ප්රදේශවල සඳුදා රාත්රී 11 සිට අඟහරුවාදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවා තිබුණා.
මෙම ප්රදේශවලට ඇතුළුවීම සහ රැඳී සිටීම තහනම් කර ඇති අතර අදාළ ප්රදේශවල පදිංචිකරුවන්, රාජකාරියේ නිරත සේවකයන් සහ හදිසි සේවා නිලධාරීන් ඇතුළු ඇතැම් කාණ්ඩවලට ව්යතිරේක ලබාදී තිබෙනවා.
මීට අමතරව පැරිසියේ තෝරාගත් ප්රදේශවල සඳුදා රාත්රී 8 සිට අඟහරුවාදා උදෑසන 6 දක්වා විරෝධතා සහ මහජන රැස්වීම් පැවැත්වීම ද තහනම් කර තිබුණා.
ප්රංශයේ උතුරු ප්රදේශයේ පිහිටි ලීල්, ඩුවේ, වාටිනී සහ ඩෙනෑන් යන නගර හතරේ සඳුදා සහ අඟහරුවාදා රාත්රී 8 සිට පසුදා උදෑසන 6 දක්වා බාලවයස්කරුවන් සඳහා ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට නියමිතයි.
නීස් නගරයේ ඇතැම් ප්රදේශවල රාත්රී 9 සිටත් ලියොන් නගර මධ්යයේ ඇතැම් ප්රදේශවල රාත්රී 9 සිටත් ඇඳිරි නීති ක්රියාත්මක කර තිබෙනවා.
බෝඩෝ නගරයේ ප්රචණ්ඩත්වයෙන් වැඩි බලපෑමක් ඇති වූ ප්රදේශවල දෙමාපියන් හෝ නීත්යනුකූල භාරකරුවන් නොමැති බාලවයස්කරුවන් සඳහා ඔක්තෝබර් 20 සිට 26 දක්වා රාත්රී 10 සිට උදෑසන 7 දක්වා ඇඳිරි නීතියක් ද ප්රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම මාර්සෙයි නගරයේ ද සඳුදා මධ්යහ්න 12 සිට රාත්රී 8 දක්වා සියලු විරෝධතා සහ මහජන රැස්වීම් තහනම් කර තිබුණා.
මේ අතර සඳුදා පැවති හදිසි අමාත්ය මණ්ඩල සාකච්ඡාවෙන් පසු මාධ්ය හමුවේ අදහස් දැක්වූ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ප්රකාශ කළේ මහජන සාමය යළි ස්ථාපිත කිරීමට ආණ්ඩුව දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන බවයි.
සම්පූර්ණ නගර ඇඳිරි නීතිය යටතට ගැනීමට දැනට අපේක්ෂා නොකරන බව පැවසූ අගමැතිවරයා, අවශ්යතාවක් මතු වුවහොත් රට තුළ හදිසි තත්ත්වයක් ප්රකාශ කිරීමට ද හැකි බව සඳහන් කළා.
එහෙත් මේ අවස්ථාවේදී සීමිත ප්රදේශවලට පනවන ඇඳිරි නීතිය වඩාත් සුදුසු පියවරක් ලෙස සලකන බව ඔහු පෙන්වාදුන්නා.
එමෙන්ම ඔක්තෝබර් 17 සෙනසුරාදා පැවති විරෝධතාවලට පන්ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගි වූ බව ප්රංශ බලධාරීන් පවසනවා.
එම දිනයේදී රටපුරා පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් 60,000ක් යොදවා තිබුණද විශාල නගරවල ප්රචණ්ඩ ක්රියා වැළැක්වීමට ඔවුන් අසමත් වුණා.
අභ්යන්තර කටයුතු අමාත්ය නුනෙස් පිළිගත්තේ විරෝධතාවලට සහභාගි වන පිරිස සම්බන්ධයෙන් බුද්ධි අංශ ඉදිරිපත් කළ පූර්ව තක්සේරු නිවැරදි නොවූ බවයි.
බුද්ධි අංශ 200,000ක පමණ සහභාගිත්වයක් අපේක්ෂා කළද සැබෑ සංඛ්යාව 500,000 ඉක්මවා ගොස් තිබුණා.
කොල්ලකෑම්වලට ලක්වූ වෙළෙඳසල් හිමියන් හමුවේ පොලිසියට පාලනය අහිමි නොවූ බව ප්රකාශ කළ නොහැකි යැයි ද අමාත්යවරයා පිළිගෙන තිබෙනවා.
කෙසේ වෙතත් සංවිධානාත්මක ප්රචණ්ඩ කණ්ඩායම්, කොල්ලකරුවන් සහ අන්ත වාමාංශික සටන්කාමීන් මෙම සිදුවීම්වලට වගකිව යුතු බවට ඔහු චෝදනා කළා.
ජනාධිපති මැක්රොන් නුනෙස්ගේ ඉල්ලා අස්වීම ප්රතික්ෂේප කරමින් ආරක්ෂක මෙහෙයුම් සැලසුම් කිරීමේ සහ බුද්ධි තොරතුරු රැස්කිරීමේ අසමත්වීම් පිළිබඳව පූර්ණ විනිවිදභාවයකින් විමර්ශනය කරන ලෙස උපදෙස් දී තිබෙනවා.
ප්රචණ්ඩ ක්රියා පාලනය කිරීම සඳහා නව පොලිස් මෙහෙයුම් ක්රම හඳුන්වාදෙන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.
මේ අතර සඳුදා රාත්රිය වන විට සතිඅන්තයේ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් පොලිස් භාරයේ රඳවාගෙන ප්රශ්න කිරීම් 2,513ක් සහ බන්ධනාගාරගත කිරීම් 67ක් වාර්තා වී ඇති බව ප්රංශ අධිකරණ අමාත්ය ජෙරල්ඩ් ඩර්මැනින්ප්රකාශ කළා.
පොලිස් භාරයට ගත් පිරිසෙන් 70%ක් පමණ වැඩිහිටියන් වන අතර ඔවුන්ගෙන් විශාල පිරිසකට එරෙහිව නඩු පැවරීම සඳහා ක්රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කළා.
බලධාරීන් පවසන්නේ පොලිස් නිලධාරීන් සහ ජන්දර්මරී ආරක්ෂක නිලධාරීන් 1,000කට ආසන්න පිරිසකට තුවාල සිදුව ඇති බවයි.
විරෝධතාකරුවන් අතරද බරපතළ තුවාල ලැබූ පිරිස් සිටින බවත් එක් විරෝධතාකරුවකුට පොලිසිය භාවිත කළ කැරලි මර්දන අත්බෝම්බයක් හේතුවෙන් අතක් අහිමි වී ඇති බවත් විදෙස් මාධ්ය වාර්තා කළා.
මේ අතර ප්රංශ අධිකරණ අමාත්යවරයා ප්රකාශ කළේ ඇතැම් සිදුවීම් සංවිධානාත්මක අපරාධ ලෙස නීතිමය වර්ගීකරණයකට යටත් කිරීම සම්බන්ධයෙන් අභිචෝදකයන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
එම නීතිමය වර්ගීකරණය අදාළ වන අවස්ථාවල සැකකරුවන් පොලිස් භාරයේ රඳවාගත හැකි කාලය පැය 48 සිට පැය 72 දක්වා දීර්ඝ කිරීමට හැකි බව ඔහු පෙන්වාදුන්නා.
මේ අතර ලෝකයේ ප්රකටම කලා කෞතුකාගාරයක් වන පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ පිවිසුම් මාර්ගද ශිෂ්ය විරෝධතාකරුවන් විසින් අවහිර කර තිබෙනවා.
ප්රංශයේ උසස් පාසල් සිසුන්ගේ විරෝධතා ව්යාපාරයට සහාය දැක්වීමත්පො ලිස් මර්දනය හෙළා දැකීමත් එහි අරමුණු වූ බවයි සඳහන් වන්නේ.
විරෝධතා හේතුවෙන් කෞතුකාගාරය නියමිත වේලාවට මහජනතාවට විවෘත කිරීමට නොහැකි වී ඇති බවද එරට මාධ්ය වාර්තා කළා.
ලෝකයේ විශාලතම කෞතුකාගාරය අවහිර කරන බව විරෝධතාකරුවන් සිය ප්රකාශන මගින් සඳහන් කර තිබුණා.
පාසල්වල ගුරු හිඟය, පන්තිකාමරවල අධික සිසුන් සංඛ්යාව, අධ්යාපනය සඳහා ප්රමාණවත් ප්රතිපාදන නොලැබීම සහ පොලිස් මර්දනයට එරෙහිව ආරම්භ වූ ශිෂ්ය විරෝධතා මේ වන විට ප්රංශයේ පුළුල් සමාජ අරගලයක් බවට පත්ව තිබෙනවා.
ජීවන වියදම ඉහළ යෑම, රාජ්ය සේවාවල පිරිහීම සහ ආණ්ඩුවේ ආර්ථික ප්රතිපත්තිවලට එරෙහි කම්කරුවන්, වෘත්තීය සමිති, ගුරුවරුන්, දෙමාපියන් සහ 2018දී ආරම්භ වූ කහ කබාකරුවන්ගේ ව්යාපාරය ද මෙම අරගලයට සම්බන්ධ වී තිබෙනවා.
මේ අතර සෙනසුරාදා සහ ඉරිදා දින පැවති ප්රචණ්ඩ ක්රියාවලදී වෙළෙඳසල් දහස් ගණනකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා.
වෙළෙඳසල් 2,000ක් පමණ කොල්ලකෑම්වලට ලක්ව ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම විදෙස් මාධ්ය වාර්තා කරන්නේ හානි වූ හෝ කොල්ලකෑම්වලට ලක්වූ ව්යාපාර සංඛ්යාව අවම වශයෙන් 3,000ක් බවයි.
මාර්සෙයි නගරයේ පමණක් ව්යාපාරික ස්ථාන 500කට බලපෑම් සිදුව ඇති අතර ඉන් 317ක් බරපතළ හානිවලට හෝ කොල්ලකෑම්වලට ලක්වී ඇති බව එරට වෙළෙඳ මණ්ඩලය වාර්තා කර තිබෙනවා.
කොල්ලකන ලද භාණ්ඩ අන්තර්ජාලය හරහා නැවත විකිණීම වැළැක්වීමට ද ආණ්ඩුව පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.
මේ අතර ප්රංශ ඩිජිටල් කටයුතු අමාත්ය ඈන් ලෙ හෙනාෆ් Vinted සහ eBay ඇතුළු අන්තර්ජාල වෙළෙඳ සේවා සපයන සමාගම්වල නියෝජිතයන් කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබෙනවා.
Amazon, Leboncoin, Meta සහ TikTok සමාගම්වල නියෝජිතයන් ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා කැඳවා ඇති බව ප්රංශ වාණිජ අමාත්යාංශය සඳහන් කර තිබෙනවා.
මේ අතර මාර්සෙයි නගරයට ගිය අභ්යන්තර කටයුතු අමාත්ය නුනෙස් එහි නගරාධිපති බෙනුවා පයාන් හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිත නව විරෝධතාව සඳහා පසුගිය සෙනසුරාදාට වඩා වැඩි පොලිස් බලකායක් යොදවන බව අමාත්යවරයා පොරොන්දු වී තිබෙනවා.
නගරයේ ඇතැම් ස්ථානවල එකවර කණ්ඩායම් කිහිපයක් ප්රචණ්ඩ ක්රියාවල නිරත වීම හේතුවෙන් පොලිසියට ඒවා පාලනය කිරීම අපහසු වූ බව ඔහු පැහැදිලි කළා.
මේ අතර ප්රංශ සෙනෙට් සභාවේ නීති කමිටුව පොලිස් ආරක්ෂක සැලසුම්වල අසමත්වීම් පිළිබඳ තොරතුරු සෙවීම සඳහා විමර්ශන ක්රියාවලියක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම විරෝධතාවලට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් අගමැති ලෙකෝර්නු ඔක්තෝබර් 21 පෙරවරුවේ වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
CFDT, FO, CFTC සහ CFE-CGC ඇතුළු වෘත්තීය සමිති එම හමුව තහවුරු කර ඇති නමුත් CGT වෘත්තීය සමිතිය ආණ්ඩුවේ ප්රතිචාරය දැඩි ලෙස විවේචනය කරමින් රටේ පවතින අර්බුදයේ බරපතළකම අවධාරණය කර තිබෙනවා.
ප්රංශ ශිෂ්ය සංවිධාන ඔක්තෝබර් 22 සහ 24 මෙන්ම නොවැම්බර් 3 සහ 5 යන දිනවල ද නව විරෝධතා සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර ප්රධාන වෘත්තීය සමිති නොවැම්බර් 5 වැනිදා රටපුරා වැඩවර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමට කැඳවා ඇති බව තවදුරටත් සඳහන්.
අන්තර්ජාලය හරහා සහ විවිධ සංවිධාන මගින් නව විරෝධතා සංවිධානය වෙමින් පවතින බැවින් ප්රංශයේ නොසන්සුන්තාව ඉදිරි දින කිහිපයේදී ද අඛණ්ඩව පැවතිය හැකි බවට අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්ය වාර්ත්දා කළා.
2027 ජනාධිපතිවරණයට මාස හයක් පමණ තිබියදී ඇතිවූ මෙම අර්බුදය මැක්රොන්ගේ ආණ්ඩුවට දේශපාලන වශයෙන් දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.
එක් පසෙකින් ජනතාව ජීවන වියදම් අර්බුදයට සහ රාජ්ය සේවාවල පිරිහීමට විසඳුම් ඉල්ලන අතර අනෙක් පසෙකින් ප්රචණ්ඩ ක්රියා පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වූ බවට දැඩි විවේචන එල්ල වනවා.
ආණ්ඩුව පොලිස් බලය සහ ඇඳිරි නීති හරහා වීදිවල ප්රචණ්ඩත්වය පාලනය කිරීමට උත්සාහ කළද විරෝධතාවලට හේතු වූ ආර්ථික හා සමාජ අර්බුදවලට විසඳුම් ලැබෙන තෙක් ප්රංශයේ ජනතා අරගලය අවසන් නොවනු ඇති බවට විරෝධතා සංවිධායකයෝ අනතුරු අඟවනු ලබනවා.
