කිසි ආණ්ඩුවක් සිවුර නොගැලවූ බව ඥාණසාර කීවේ බොරුද?

තමන් මීට පෙර හතර පස් වතාවක් සිරගතව සිටිය ද කිසිදු ආණ්ඩුවකින් තම සිවුර නොගැලවූ බවත් වත්මන් ආණ්ඩුව විසින් මෙලෙස තම සිවුර ගලවා ඇති බවත් සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නියම වී තිබූ වසර හයක සිරදඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව අද (06) දින වෙනත් නඩු කටයුත්තක් සඳහා උන්වහන්සේව චීවරය වෙනුවට බන්ධනාගාර සිරකරු නිල ඇඳුම හැඳ අධිකරණ පරිශ්‍රය තුළ ආරක්ෂක අංශ භාරයේ රැගෙන යමින් සිටියදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ උන්වහන්සේ මේ බව සඳහන් කළා.

එහිදී තමන් කැමැත්තෙන් සිවුර ඉවත් කළේ ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළේ, එය බන්ධනාගාර නියෝගයක් මත සිදු වූ බවයි.

කෙසේ වෙතත් සිවුර ඉවත් කළද නොකළද තමන්ට එහි කිසිදු වෙනසක් නොමැති බව පැවසූ උන්වහන්සේ, සිවුර ගැලෙව්වද ඥානසාර හිමියන් යනු ඥානසාර හිමියන්ම බව පවසනවා.

සිරගතව සිටියදීත් චීවරය දරා සිටීමට අවසර පවතින්නේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේද්8ඊ ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, සිවුර ඇඳ සිටීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ සංඝ සභාව විසින් බවයි.

රට වෙනුවෙන් කළ කැපකිරීම් හේතුවෙන් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ බව පෙන්වා දුන් ඥානසාර හිමියන්, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ සූදානමින් යුතුව රට වෙනුවෙන් කටයුතු කළ බැවින් සිදුවන ඕනෑම දෙයක් භාරගැනීමට තමන් සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් තමන් තුළ කිසිදු පැකිළීමක් හෝ ප්‍රශ්නයක් නොමැති බවත් වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් මීට පෙර කිසිදු ආණ්ඩුවකින් තම සිවුර නොගැලවූ බවට පවසමින් ඥානසාර හිමියන් කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පවා කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

කෙසේවෙතත් ඥානසාර හිමියන් 2018 වසරේ සිර දඬුවමකට යටත් වූ සමයේදීද උන්වහන්සේ බන්ධනාගාර ඇඳුම හෙවත් ජම්පරය ඇඳ සිටි බව පැරණි මාධ්‍ය වාර්තා පැහැදිලිව සඳහන් වනවා.

එවකට හය මසක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් විඳිමින් සිටි ඥානසාර හිමියන් සාමාන්‍ය සිරකරුවන්ගේ ඇඳුම ලෙස හඳුන්වන jumper suits පැළඳ සිටි බවට එම සිදුවීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම සහ එය භික්ෂු විනයට බලපාන ආකාරය පිළිබඳවද එවකට මහත් ආගමික සංවාදයක් ඇති වි තිබුණා.

එමෙන්ම අධිකරණයකින් වරදකරුවෙකු කර සිරදඬුවම් ලබා ඇති පුද්ගලයෙකු බන්ධනාගාර ආඥා පනත යටතේ නියමිත ජම්පරය පැළඳිය යුතු බවට එවකට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල 2018 ජුනි 20 වනදා සඳහන් කර තිබුණා.

2018 අගෝස්තු මාසයේදී ඥානසාර හිමියන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදීද උන්වහන්සේට බන්ධනාගාරයේ light jumper හෙවත් liberty dress ලබාදී තිබුණා.

එම අවස්ථාවන්හිදි, රෝහලට හෝ අධිකරණයට රැගෙන යන රැඳවියන්ට ඇතැම් අවස්ථාවල මෙම ලා පැහැති ඇඳුම ලබාදෙන නමුත් බන්ධනාගාරය තුළ රඳවා සිටින විට ජම්පරය පැළඳීම අනිවාර්ය බවට බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කර තිබුණා.

ඒ අනුව අධිකරණයකින් වරදකරු වී සිරදඬුවම් නියම වූ ඥානසාර හිමියන් පෙර අවස්ථාවලදී ද බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව ජම්පරය ඇඳ තිබියදී, “කිසිදු ආණ්ඩුවකින් මීට පෙර සිවුර නොගැලවූ” බව ප්‍රකාශ කිරීම සත්‍ය විකෘති කිරීමක් වී තිබෙනවා.

එය දේශපාලන වාසි තකා සිදු කළ ප්‍රකාශයක් බවටද මේ වන විට චෝදනා එල්ල වනවා.

මේ අතර 2018 ජුනි 19 වනදා බන්ධනාගාරගතව ජම්පරය අඳිමින් සිටි භික්ෂූන් 15 නමක් සහ අනෙකුත් ආගමික පූජකවරුන් තිදෙනෙකු සිටි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ එවකට සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසා තිබුණා.

එකල ඥානසාර හිමියන්ද ඒ අතර සිටි අතර ඒ සම්බන්ධයෙන් නීතිය යටතේ වරදක් නොමැති බවද ඔහු පවසා තිබුණා.

මෙම 15 දෙනාගේ සංඛ්‍යාව 2018 වසරට අදාළ සංඛ්‍යාවක් පමණක් වනවා.

මේ අතර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඥානසාර හිමියන්ට චීවරය පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස ඉල්ලා තිබුණා.

එහිදී උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ අධිකරණ තීන්දුවට තමන් විරුද්ධ නොවන බවත් අධිකරණයේ උත්තරීතරභාවය පිළිගන්නා බවයි.

එහෙත් භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම ආගමික හා සංඝ විනයට අදාළ කරුණක් බැවින් එය අදාළ මහා සංඝ සභාවේ සහ මහානායක හිමියන්ගේ අනුමැතිය යටතේ සිදුවිය යුතු බව උන්වහන්සේ පෙන්වාදි තිබුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading