රනිල්ගේ නඩුවේ නීතිපති මතය අදත් නෑ! තවත් කල් ඉල්ලයි

රාජ්‍ය අරමුදල්වලින් රුපියල් ලක්ෂ 166ක මුදලක් අයථා ලෙස යොදවා ගනිමින් එංගලන්තයේ සංචාරයක නිරත වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව නීතිපතිවරයාගේ ඉදිරි ස්ථාවරය දැනුම් දීම සඳහා එළඹෙන නොවැම්බර් මස 11 වැනිදා යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍‍රාත් අධිකරණය නියෝග කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද (30) මෙම නඩුව කැඳවනු ලැබු අතර එම අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන මෙනවිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සහ උපදෙස් සඳහා යොමු කර ඇති බවයි.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා ගන්නා ඉදිරි නෛතික ක්‍රියාමාර්ගය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම සඳහා නඩුව යළි කැඳවීමට සුදුසු දිනයක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල නොවැම්බර් මස 11 වන දින යළි කැඳවීමට නියම කළ අතර එදිනට නීතිපතිවරයාගේ ස්ථාවරය සහ උපදෙස් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ නීතිඥවරියට නියෝග කළා.

හිටපු ජනාධිපති ලේකම්වරයා සිය ධුරයන් දරන සමයේදී රජයේ මුදල් ලක්ෂ 166ක මුදලක් නීතිවිරෝධී ලෙස අවභාවිත කරමින් මෙම විදෙස් සංචාරය සිදුකර ඇති බවට ලද පැමිණිල්ලක් මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading