රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාරට විදේශ ගමන් තහනමක් පැනවීමටත්, රෝහල්ගතව සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන සැප්තැම්බර් 22 වැනිදා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාටත් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) නියෝග නිකුත් කළා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ බුද්ධි තොරතුරු වසන් කිරීම, යුද හමුදා සහ රාජ්‍ය බුද්ධි අංශවල සැකසහිත ක්‍රියාකලාපය, සහරාන්ලාගේ ඉන්දීය ගමන්වලට ආධාර කළ දේශපාලන හා ව්‍යාපාරික සබඳතා මෙන්ම සයින්දමරුදු සිද්ධිය ඇතුළු මහා කුමන්ත්රණයක තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස අනාවරණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග නිකුත් කළා.
හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩු විභාගය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා ප්රමුඛ CID කණ්ඩායම ද අධිකරණයේ පෙනී සිටිමින් වැඩිදුර විමර්ශන වාර්තාවක්ද භාර දෙනු ලැබුවා.
පසුගිය සැප්තැම්බර් 2 වැනිදා තම පාලනයෙන් බැහැර වූ හේතුවක් මත තමන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණීමට නොහැකි වීම නිසා විමර්ශන ප්‍රගතිය නිසි පරිදි එදින වාර්තා නොවූ බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මුලින්ම අධිකරණයට දැනුම් දුන්නා.
සලේගේ රෝහල්ගතවීම පිටුපස “වෛද්‍ය කුමන්ත්‍රණයක්”
සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලෙන් ඉල්ලා තිබූ වෛද්‍ය වාර්තාව අද දිනයේත් ඉදිරිපත් නොවීම පිළිබඳව අධිකරණයේ අවධානයක් යොමු වුණා.
මෙහිදී කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, “ස්වාමීනි, මෙම සැකකරු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතුද? නැද්ද? යන කරුණ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඔබතුමා පසුගිය 02 වැනිදා කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට නියෝගයක් නිකුත් කළා. එම වාර්තාව මෙතෙක් ඇවිල්ලා නෑ. ස්වාමීනි, මෙහි විශාල වෛද්‍ය කුමන්ත්‍රණයක් තිබෙනවා. හෘද වස්තුව බද්ධ කළත් රෝහල්ගතව සිටින්නේ දින දහයක් පහළොවක් පමණයි. නමුත් ජූනි මස මුලදී ආරම්භ කළ උපවාසයකින් පසුව ජූනි 7 වැනිදා පමණ රෝහල්ගත වූ මේ සැකකරු මේ වන විට දින සියයකට ආසන්න කාලයක් රෝහලේ රැඳී සිටිනවා. ඔහුට කිසිදු බරපතළ සැත්කමක් කර නෑ, ඔහුගේ හෘද ස්පන්දනය විධිමත් කිරීමේ පේස්මේකර් යන්ත්‍රයක් සවිකිරීම පමණයි කර තිබෙන්නේ. ඔහුට ප්‍රතිකාර වශයෙන් කරලා තිබෙන්නේ දත් පිරවීම, කන් සුද්ද කිරීම වැනි කටයුතු පමණයි. මේ සැකකරු රෝහල ඔහුගේ විවේකාගාරය කරගෙන.” යනුවෙනි.
එක් අවස්ථාවකදී මොහු මනෝ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අත්අඩංගුවෙන් බේරීමට උත්සාහ කළ බවත් ඔහුගේ හාම්පුතුන්ට විරුද්ධව විදේශ ගමන් තහනම ගත් පසු දින තුනකින් ආහාර වර්ජනයක් ආරම්භ කළ බවත් දිලීප පීරිස් මහතා පෙන්වාදුන්නා.
සුරේෂ් සලේ මහතා රෝහල්ගතව සිටින්නේ විමර්ශන අඩාල කිරීමට සහ ඔහුට ඉහළින් සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීමට බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළා.
එමෙන්ම අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකථනයෙන් විමසූ විට රෝහල පවසා ඇත්තේ වාර්තාව එම දෙපාර්තමේන්තුවට නොදී අධිකරණයට එවන බව වුවත්, එය අධිකරණයටද ලැබී නොතිබුණි.
මීට පෙර සලේ මහතා කළ වදහිංසා චෝදනා විමර්ශනයට පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය, ජාතික රෝහලෙන් වාර්තා ඉල්ලූ විට අධිකරණ නියෝගයක් ඉල්ලා සිටි බවත්, එවැන්නක් භාර දුන් පසුවත් වාර්තා ලබා දී නොතිබූ බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළා.
එබැවින් අදාළ නියෝග කඩකිරීමට හේතු දැක්වීමට සහ වෛද්‍ය වාර්තා ද රැගෙන සැප්තැම්බර් 22 වැනිදා පෞද්ගලිකවම පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට මෙලෙස නියෝග කළා.
රන්ජන් සෙනරත් බණ්ඩාරට විදෙස් ගමන් තහනම්
රාජ්‍ය බුද්ධි සේවයේ අන්තවාදී ක්‍රියාකාරකම් සොයා බලන ‘Q Branch’ අංශය භාරව කටයුතු කළ පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාරගේ ක්‍රියාකලාපය පිළිබඳවද මෙහිදී බරපතළ කරුණු හෙළිවුණා.
ඔහු විසින් අන්තවාදීන් 94 දෙනෙකුගේ ලැයිස්තුවක් 126 දක්වා වර්ධනය කර තිබූ බවත් ඊට සහරාන්ගේ කල්ලියේ පිරිස්ද ඇතුළත්ව තිබූ බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වාදුන්නා.
2019 අප්‍රේල් 3/4 දිනවල එවකට SIS අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට විදේශීය බුද්ධි අංශවලින් ලැබුණු, සහරාන් ඇතුළු පිරිස මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වන බවට වූ බරපතළ බුද්ධි තොරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලන්ත මල්ලවආරච්චි හරහා බණ්ඩාරට ලබා දී තිබුණු බවත් එම තොරතුරේ සහරාන්, ඔහුගේ සහෝදරයන්, රිල්වාන්, මිල්හාන් සහ ආමි මොහිදීන් යන අයගේ නම්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකථන අංක මෙන්ම ඉලක්ක වන කතෝලික පල්ලි හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ගැනද සඳහන් වී තිබුණු බව දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.
දිලිප පීරිස් මහතා කියා සිටියේ, ඉන් පසු මල්ලවආරච්චිගේ අධීක්ෂණයෙන් නැගෙනහිරට ගිය බණ්ඩාරගේ කණ්ඩායම, සහරාන්ගේ බාල සොහොයුරු ශයිනි මවුලවි හමුවී ඇති බවයි.
ශයිනි යනු රන්ජන් සෙනරත් බණ්ඩාරගේම 126 ලැයිස්තුවේ සිටි අයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේනම් ප්‍රහාරය වළක්වා ගැනීමට තිබියදීත්, රන්ජන් සෙනරත් බණ්ඩාර විසින් සිදු කර ඇත්තේ ශයිනි නම් පුද්ගලයාව් හමුවී සාකච්ඡා කර තේ පානය කරමින් ආපසු ඒම පමණක් බව දිලීප පීරිස් මහතා මෙහිදි අනාවරණය කළා.
මෙම පොලිස් පරීක්ෂකවරයා විමර්ශනවලට අත්‍යවශ්‍ය පුද්ගලයකු බවත් මෙම සැකසහිත ක්‍රියාකලාපය කුමන්ත්රණයක කොටසක්දැයි සෙවීමට ඔහුට රටින් පිටවීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් දිලීප පීරිස් මහතා ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාරට විදේශ ගමන් තහනමක් පැනවනු ලැබුවා.
හමුදා බුද්ධි අංශ නිහඬතාව සහ ගිරිතලේ කඳවුරේ අඳුරු අතීතය
මේ අතර වවුනියාවේ ස්ථාපිත පළමු සන්නද්ධ බුද්ධි බලකාය සහ ගිරිතලේ ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වූ තුන්වන සන්නද්ධ බුද්ධි බලකාය සහරාන් සම්බන්ධයෙන් පෙර සිටම දැන සිටිමින් තොරතුරු වසන් කළ ආකාරයද අද අධිකරණයෙදි කරුණු අනාවරණය වුණා.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විශේෂයෙන්ම අවධාරණය කළේ, “පසුගිය කාලයේ දේශපාලන ඝාතන හා ප්‍රහාර සිදු කළේ මෙම ගිරිතලේ බුද්ධි බලකා කඳවුරේ සිට” බවයි.
2018 සිට ඉන්දීය බුද්ධි අංශ හා සබඳතා ඇති කොටි සංවිධානයෙන් ඉවත් වූ “කඩල්” හෙවත් “තම්බියන්” නමැති ඔත්තුකරු හරහා හමුදා කෝප්රල් සුරංගටත්, ඉන් කර්නල් කමේෂ් රණවීරටත් සහරාන්ගේ ක්‍රියාකාරකම් ගැන තොරතුරු ලැබුණද ඒවා එවකට හමුදා බුද්ධි අධ්යක්ෂ චූලා කොඩිතුවක්කු දක්වා යවා නොතිබුණු බව දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.
2018 නොවැම්බර් මාසයේ වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා මරා අවි පැහැරගත්තේ සහරාන්ගේ කණ්ඩායම බවට පසුදාම තම්බියන් හරහා තොරතුරු ලැබී තිබියදීත්, හමුදා බුද්ධි අංශ එය LTTEය පිට පටවා අජන්තන් නමැත්තෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නොමඟ යවා තිබුණු බවද දිලීප පීරිස් මහතා පෙන්වාදුන්නා.
එමෙන්ම තුන්වැනි බලකායේ කර්නල් මද්දුමගේ විසින් වව්නතිව් සිද්ධියට සහරාන් සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළි කළේ ප්‍රහාරයට දින නවයකට පමණ පෙර බව ඔහු සඳහන් කළා.
තුන්වැනි බුද්ධි බලකායට “රාසික්” නමැති ඔත්තුකරුගෙන් 2016 සිටම සහරාන් ගැන තොරතුරු ලැබුණද ඒවා ඉහළට යවා නොතිබුණු බවත් 2019 අප්‍රේල් 13 වැනිදා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බුද්ධි අංශ එක්ව විමර්ශනය කරන ලෙස උපදෙස් දී තිබියදීත් හමුදා බුද්ධි අංශ චේතනාන්විතවම තොරතුරු බෙදාගෙන නොතිබුණු බවත් දිලිප පීරිස් මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරයට පෙර දිනත් ඔත්තුකරු පසුදා එල්ල වන ප්‍රහාරය ගැන යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු ලබා දුන්නද කිසිදු පියවරක් නොගෙන ඔවුන් නිහඬව සිටි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසිය සමඟ සාකච්ඡා කළේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ බවත් පැවසූ දිලීප පීරිස් මහතා, ප්‍රහාරය සිදුවීමට ඉඩ හැර බලා සිටීම “රණවිරු ක්‍රියාවක්ද එසේත් නැතිනම් දේශද්‍රෝහී ක්‍රියාවක්ද” යන්න තමන් ප්‍රශ්න කරන බව අවධාරණය කළා.
මෙහිදී මද්දුමගේ, කමේෂ් රණවීර ඇතුළු කණ්ඩායම “සලේගේ ගෝලයන්” ලෙස දිලීප පීරිස් මහතා සඳහන් කළා.
රිෂාඩ් බදියුදීන් රැකවරණය, අලව්දීන්ගේ අධිවේගී බෝට්ටු සහ දියණිය නිදහස් කිරීම
එමෙන්ම සහරාන් ඉන්දියාවට ගොස් එමින් සබඳතා පැවැත්වීමට දේශපාලන රැකවරණය දුන්නේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බවත් ඊට ආර්ථික ශක්තිය සැපයූයේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවලදී මන්නාරම ප්‍රදේශයේ සැලකිය යුතු සහායක් දුන් ප්රචාරක කටයුතු භාරව සිටි ව්‍යාපාරික “අලව්දීන්” බවත් බුද්ධි තොරතුරුවලින් හෙළිව ඇති බව දීලීප පීරිස් මහතා පෙන්වාදුන්නා.
අලව්දීන් යනු ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ ඉන්ෂාෆ්ගේ (මොහොමඩ් යූසුෆ් ඉබ්රාහිම්ගේ පුත්) බිරිඳගේ පියා යි.
හමුදා බුද්ධි අංශයේ සුරංග නමැති නිලධාරියා අලව්දීන්ගේ නිවසේ තිබූ බෝට්ටුවක් සහ මුහුදු ස්කූටරයක ඡායාරූපයක් පවා ලබාගෙන තිබූ බවත් සහරාන්ලා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යාමට මෙම අධිවේගී බෝට්ටු භාවිත කර තිබුණු බවත් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියා.
පාස්කු ප්‍රහාරයෙන් පසු අලව්දීන්ගේ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රැඳවුම් නියෝග මත තබාගෙන පරීක්ෂණ කිරීමේදී , 2019 ගෝඨාභය රාජපක්ෂ පත්වීමෙන් පසු ඇයව නිදහස් කර ඇති බවද ඔහු සඳහන් කළා.
මෙවැනි දේ සිදුකර ගැනීමට සහ ප්‍රධාන පුද්ගලයන් ආරක්ෂා කරමින් පහළ මට්ටමේ අය පමණක් අත්අඩංගුවට ගෙන තොරතුරු වසන් කිරීමට සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂවරයා ලෙස පත්කර ගත් බවට දිලීප පීරිස් මහතා චෝදනා කළා.
මේ අතර මේ සම්බන්ධයෙන් 2019දී එවකට විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ පදනම් කරගෙන ඔවුන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගන්නා බවත්, සාක්ෂිකරුවන් ලෙස කැඳවීමට බලාපොරොත්තු වන බවත් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා.
සයින්දමරුදු සමූල ඝාතනය සහ රිට් පෙත්සම්
එමෙන්ම ප්‍රහාරයෙන් දින පහකට පසු සයින්දමරුදු නිවසකදී ශයිනි සහ රිල්වාන් ඇතුළු 16 දෙනෙකු මියයාම පිළිබඳවද දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කළා.
එහි සිටි සියලු දෙනා සියදිවි නසාගත් අය නොවන බවත් ඔවුන්ව ජීවග්රහයෙන් අල්ලා තොරතුරු හෙළිකර ගැනීමට හැකියාව තිබියදී, හමුදාව ලවා ප්‍රහාර එල්ල කර ඔවුන් සියලු දෙනා විනාශ කළේ ඇයිද යන්න සැක සහිත බව දිලීප පීරිස් මහතා පැවසුවා.
එය කුමන්ත්රණකාරී සමූල ඝාතනයක් බවට චෝදනා කළ ඔහු, එහිදී ත්‍රිරෝද රථයක ගිය කාන්තාවක්, රියදුරෙකු සහ තොරතුරු ගැනීමට ගිය “නියාස්” නමැති මාධ්‍යවේදියාද ජීවිතක්ෂයට පත්වීම හා හමුදා පාලනය යටතේ පැවති නැගෙනහිර පළාතේ සිදුවූ එම ක්‍රියාකාරකම් ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව දිලීප පීරිස් මහතා සඳහන් කළා.
එමෙන්ම එහිදි දිලීප පීරිස් මහතා සඳහන් කළේ, කර්නල් මද්දුමගේ අත්අඩංගුවට ගැනීමට තමන් උපදෙස් දුන්නද, ඔහු සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම් හේතුවෙන් අත්අඩංගුවට ගැනීම තාවකාලිකව වැළැක්වීමේ අතුරු නියෝග පවතින බවයි.
සලේගේ නීතිඥ පාර්ශ්වයේ ප්‍රතිචාරය
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට කරුණු දක්වමින්, “ස්වාමීනි, බී වාර්තාවල ඕන පචයක් දාන්න පුළුවන්. ඒත් ඒවා සාක්ෂි නෙවෙයි. අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දීර්ඝ කරුණු ඉදිරිපත් කළත් මගේ සේවාදායකයාට සෘජුව සම්බන්ධ කරුණු ඒ තුළ ඉදිරිපත් වුණේ නෑ. මගේ සේවාදායකයාගේ ‘ගෝලයෝ’ මේවා කළා කියලයි සඳහන් කළේ. ඒ චෝදනාවලට අපි පිළිතුරු දෙන්නේ නෑ.” යනුවෙන් පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, අභියාචනාධිකරණයේ රිට් පෙත්සම් දිවුරුම් පෙත්සම් මත විභාග වන බවත්, B වාර්තා ඊට වෙනස් බවයි.
එමෙන්ම වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥවරයා, අධිකරණය රෝහල් අධ්යක්ෂගෙන් වාර්තාව ඉල්ලා ඇති බැවින් එය ඉදිරිපත් නොකිරීම තම සේවාදායකයාගේ හෝ නීතිඥවරුන්ගේ වරදක් නොවන බවත් තමන්ද එය ලැබෙන තුරු බලා සිටින බවත් වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම, “ස්වාමීනී මට රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා තරම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් නෑ. නීති විද්‍යාලයේවත් නීතිපති දෙපාර්තමේන්තුවේවත් වෛද්‍ය විද්‍යාව උගන්වන අංශයක් තිබුණේ නෑ. ඒ නිසා මගේ උගත් මිත්‍රයා වෛද්‍ය විද්‍යාව ගැන කියන කරුණු වලට මට කිසිවක් කීමට හැකියාවක් නෑ” යනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
කෙසේවෙතත් ඉකුත් 02 වනදා අධිකරණය විසින් කළ නියෝගය පරිදි රෝහල්ගතව සිටින සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගලයා වෛද්‍ය මණ්ඩලය විසින් ඉල්ලා සිටි තොරතුරු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මීළඟ නඩු දිනයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග නිකුත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝග නිකුත් කරමින් නඩුව ලබන සැප්තැම්බර් 22 වැනිදාට කල් තැබුවා.
