නකල්ස් පිටවල පතනේදී වන නකල්ස් වන පාලකවරයා ඇතුළු පිරිසකට බීමතින් අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ හිටපු මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුගේ පුතුන් දෙදෙනෙකු ඇතුළු 09 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ..
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකරුවන් පසුගිය 01 දින පස්වරු 6.30 ට පමණ වාහන දෙකකින් පිටවල පතන පිවිසුම අසළට පැමිණ මත්පැන් පානය කර තිබේ.
එම ස්ථානයේ මත්පැන් පානය කිරීමට අවසර දිය නොහැකි බව මුරකරු පැවසීමත් සමඟ මොවුන් කලහකාරි ලෙස හැසිරී ඇත.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පිරිසක් සමඟ පටිගත කිරීමකට එක්ව සිට ඇති නකල්ස් වන පාලකවරයා කලහකාරි ලෙස හැසිරෙමින් සිටි පිරිසකට කරුණු පහදා දීමට උත්සහා කළ අවස්ථාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ පුතුන් හා සෙසු පිරිස මුරකරුට හා වන පාලකවරයාට අමානුෂික ලෙස පහරදී ඇත.
බීමතින් සිටි කණ්ඩායම එලව එලවා පහර දෙත්දී ඉන් බේරීමට වන පාලකවරයා ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවකයින්ද සහ ගුවන් විදුලි සංස්ථාවේ පිරිසද එම ස්ථානයෙන් පලාගොස් තිබේ.
සිද්ධියෙන් පසු වන පාලකවරයා ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවකයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.
මාතලේ රෝහලේ කාර්ය මණ්ඩලයයේ ඇතැම් පිරිස් පහරදීම සිදුකළ කණ්ඩායම සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවට ඇතිවූ සැකය මත වන පාලකවරයා සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළුවී තිබේ.
එහිදී සී.ටී ස්කෑන් පරීක්ෂාවක් සිදුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
