එන සතියේ නීතිපති එකට 32ක් බදවාගනී! නඩු ඉක්මන් කිරීමේ තවත් පියවරක්!

නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් එක් අභිචෝදකයෙකුට දැවැන්ත නඩු ප්‍රමාණයක් මෙහෙයවීමට සිදුවී ඇති පසුබිමක, එහි පුරප්පාඩු පියවීම සඳහා රජයේ අධිනීතිඥවරුන් 32කුගේ පත්වීම්වලට ලබන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවීමට නියමිත බව ‘ද සන්ඩේ මෝනිං’ පුවත්පත වාර්තා කරයි.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි වෘත්තිකයන්ගේ විශ්වාසය ඉහළ යාමත් සමඟ එහි ආධුනික පුහුණුව සඳහා අලුතින් සමත් වූ නීතිඥවරුන්ගෙන් වාර්තාගත අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබේ.

‘ද සන්ඩේ මෝනිං’ පුවත්පත වෙත අදහස් දක්වමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඩබ්.එච්.එම්.එම්.සී.කේ. දයාරත්න මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ කටයුතුවලදී කොමිසම පාර්ශ්වයෙන් කිසිදු ප්‍රමාදයක් සිදුවී නොමැති බවයි. දැනට කොමිසම හමුවේ ඇති එකම කාර්යය වන්නේ මෙම පත්වීම් 32ට අනුමැතිය ලබා දීම පමණක් බවත්, ලබන සතිය වන විට එය ලබා දිය හැකි බවත් ඇය පවසා ඇත. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් සහ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන්ගේ උසස්වීම් ඇතුළු දෙපාර්තමේන්තුව විසින් යොමු කළ අනෙකුත් සියලුම කරුණු මේ වන විටත් සලකා බලා අනුමත කර ඇති බවද ඇය සඳහන් කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ‘ද සන්ඩේ මෝනිං’ වෙත පවසා ඇත්තේ දෙපාර්තමේන්තුව තුළ මුලින් රජයේ අධිනීතිඥ පුරප්පාඩු 77ක් පැවති බවයි. “අපි පුරප්පාඩු 77න් 32ක් සඳහා බඳවාගෙන තිබෙනවා, නමුත් ඔවුන්ගේ පත්වීම් සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබෙන තෙක් අපි බලාපොරොත්තුවෙන් සිටිනවා,” යනුවෙන් එම නිලධාරියා පවසා ඇත. කෙසේ වෙතත්, දැනට සේවයේ නියුතු රජයේ අධිනීතිඥවරුන් 37 දෙනෙකු ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරුන් ලෙස උසස්වීම් ලැබීමට නියමිත බැවින් මෙම පුරප්පාඩු ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් ඉහළ යාමේ අවදානයක් පවතින බවද එම වාර්තාවේ දැක්වේ.

නීතිපති දෙපාර්තමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. එම පුවත්පත පෙන්වා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ආධුනික පුහුණුව සඳහා අලුතින් සමත් වූ නීතිඥවරුන්ගෙන් අයදුම්පත් 200කට අධික වාර්තාගත සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. සාමාන්‍යයෙන් මෙම සංඛ්‍යාව 80ක් පමණ වන බව නිල ආරංචි මාර්ග ‘සන්ඩේ ටයිම්ස්’ වෙත පවසා තිබේ.

මීට අමතරව, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලයේ නීති පීඨයන්හි උපාධි අපේක්ෂකයින් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තුළ සීමාවාසික පුහුණු අවස්ථා ලබා දෙන ලෙස එම විශ්වවිද්‍යාල විසින් ද ඉල්ලා ඇත. මෙම වර්ධනයන් තුළින් නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වය ඉහළ ගොස් ඇති බව තහවුරු වන බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අතර, නීතිපති දෙපාර්තමේන්තුවට අතිරේක නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීමට රජයේ අනුමැතිය ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෑතකදී නිවේදනය කළ බවද ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තාවේ සඳහන් වේ. ඊට අමතරව, දෙපාර්තමේන්තුවේ වත්මන් උසස්වීම් ක්‍රියාවලිය සංශෝධනය කිරීමටත්, නීති නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසා ඇත. ඉහළ දක්ෂතාවන්ගෙන් යුත් නීති වෘත්තිකයන් දෙපාර්තමේන්තුව තුළ රඳවා ගැනීම සහ ඔවුන්ගේ සංවර්ධනය උදෙසා “සුදුසු වැටුප් ව්‍යුහයක්” සකස් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

‘උසාවියේ නඩු අහන එක විතරක් නෙවෙයි. විමර්ශන කාර්යක්ෂම වෙන්න ඕනෑ. පොලීසිය, රස පරීක්ෂක වගේ සියලු දේ කාර්යක්ෂම වෙන්න ඕනෑ. පොලීසියේ දැනට අලුතින් බදවාගැනීම් ඇතුළු ක්‍රියාමාර්ග තියෙනවා. හැමතැනම ලොකු ප්‍රශ්නයක් රජයේ සේවයට ඇප්ලයි කළාට එන්නෑ. සුදුසු අය එන්නෑ. ඒකට ප්‍රධාන හේතුවක් රජයේ වැටුප් අඩු වීම.

නීතිපති එකට දැන්වීම් දැම්මාම 32ක් ගන්න පුලුවන් වුණේ. තව 50ක් බදවාගන්න සාකච්ඡාව තියෙන්නේ. නීතිපති එකපාර 100ක් අරන් වැඩක් නෑ. ඒ අත්දැකීම එන්න අවුරුදු හතක් අටක් යනවා. 30- 40 වශයෙන් ගන්නවා. පොඩි නඩු ඔවුන්ට දීලා සුපර්වයිසර් කෙනෙක් එක්ක පොඩි නඩු ඉවර කරනවා.

රස පරීක්ෂක පුරප්පාඩු 118ක් තිබුණා. ගිය අවුරුද්දේ බදවාගැනීම් පටන් ගත්තා. රජයේ බදවාගැනීම් ක්‍රියාවලියට අවුරුද්දක් ගියා. ජුනි 1 වැනිදා පත්වීම් දුන්නේ. මාස තුන හතරක් යනකොට මගහැරුණු වැඩ ඉවර කරගන්නවා. අපි බලන්නේ රස පරීක්ෂක වාර්තා උපරිම මාස තුනක් ඇතුළත ලබා දෙන්න. ඒ කියන්නේ මාස තුනට ඇතුළෙන් ලබා දෙන්න.

දැනට උසාවි 15ක් වැඩි කළා. මහාධිකරණත් වැඩි කරනවා. දැන් 11ක් තෝරගෙන තියෙනවා. තියෙන නඩු ප්‍රමාණය අනුව. දැනට තියෙන ගොඩනැගිලි හොයනවා. සම්පූර්ණ ටාගට් එක ඒකට.

ඊ කෝට් ව්‍යාපෘතිය. 22ට විරුද්ධව ඔන්ලයින් පෙටිෂන් දාලා තියෙනවා. ඊ ෆයිලින් කරලා තියෙනවා. ගෙදර ඉදන්, චෙම්බර් එකේ ඉදන් කරන්න පුලුවන්. නඩුව ඔන්ලයින් ගහලා සර්ච් කරන්න පුලුවන්. තව අවුරුද්දක් දෙකක් යයි ඔක්කොම ඉවර වෙන්න.

මහේස්ත්‍රාත් උසාවි අලුතින් ආරම්භ කරන්න උත්සාහ කරනවා. නීතිඥයන් ආස නෑ ඔවුන්ගේ බල ප්‍රදේශ කැඩෙනවාට. රණ්ඩු නොවී ගෙනියන්න ඕනෑ. විනිසුරුවරුන්ගේ වයස කියන එක එන්නේ ඔය ඔක්කොම දේවල්වල කොටසක් විදියට. ඔය හේතුව මත වැඩි කරන්නේ. සමස්ත පද්ධතියේම කොටසක් හැටියට තමයි වයස වැඩි කරන්නේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading