“මගේ අයව හිරේ දානවා කියලා මම කිව්වේ නැහැ! සහයෝගයෙන් වැඩ කළා! තුන්වැනි යුද්ධෙන් නොපැන්නොත් රට ආපහු බංකොලොත්!” – රනිල් කියයි

තමන් සමඟ කටයුතු කළ නිලධාරීන් කිසිවෙකුත් සිරගත කරන බවට නොපැවසූ නිසා ඔවුන් කිසිදු බියකින් තොරව රට ගොඩනැගීමට සහාය දුන් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ “යුග දෙකකට උර දී” කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, අගමැතිවරයාගේ සිට ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ ආර්ථික උපදේශකවරුන් ඇතුළු සම්පූර්ණ නිලධාරී කණ්ඩායම කිසිදු බියක් නොමැතිව තමන් සමඟ ඉදිරි ගමනක් යාමට කැපවූ බවයි.

තමන් බලය අතහැර යන විට ඩොලර් බිලියන හයක විදේශ විනිමය සංචිතයක් ඉතිරි කර තැබූ බවත් ආර්ථිකය ස්ථාවර කරමින් විදේශ ණය ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආර්ථිකය කඩා වැටීම නතර වී වර්ධනයක් ඇති වූ පමණින් ප්‍රශ්නය අවසන් නොවන බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ, පළමු වටය අවසන් වුවද ණය ගෙවීමේ දෙවැනි වටය 2028න් පසු අනිවාර්යයෙන්ම ආරම්භ වන බව පැවසීය.

2028 වන විට ණය ආපසු ගෙවීම සඳහා විදේශ සංචිතය ඩොලර් බිලියන 14.7ක් (බිලියන 15ක් පමණ) දක්වා වර්ධනය කරගත යුතුව ඇතැයි ඔහු අවධාරණය කළේය.

දැනට ඇත්තේ ඩොලර් බිලියන හයක් බැවින් මහ බැංකුව පවසන පරිදි මෙම වසර අවසන් වන විට එය බිලියන අටක් වුවද, 2026 සිට 2028 දක්වා කාලය තුළ තවත් ඩොලර් බිලියන හයක් අලුතින් සපයා ගැනීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.

ඊට අමතරව ඩොලර් බිලියන 3.2ක ණය ආපසු ගෙවීමත්, තවත් ඩොලර් බිලියන තුනක බැඳුම්කර (ඩොලර් බිලියන 1.5 බැගින් වූ බැඳුම්කර දෙකක්) නිකුත් කිරීමේ අවශ්‍යතාවත් පවතින බව රනිල් වික්‍රමසිංහ පවසයි.

විදේශ රටවල් ණය ගෙවීම සඳහා 2043 දක්වා කාලය ලබා දී ඇතත් ආපසු ගෙවීම් කඩිනමින් ආරම්භ කළ යුතු බවත් 2027 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අවසන් වන බැවින් ඉන් ඉදිරියට රට ගෙන යන වැඩසටහන කුමක්දැයි වත්මන් ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවත් ඔහු ප්‍රශ්න කළේය.

තම රජය ආර්ථික ස්ථාවරත්වය සහ අනාගත වර්ධනය උදෙසා මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත යන නීති හඳුන්වා දුන් බව පැවසූ රනිල් වික්‍රමසිංහ, ආණ්ඩු මාරුවෙන් පසු නව පාලනය ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළද ඊට විකල්ප කිසිවක් ඉදිරිපත් කර නොමැති බව පැවසීය.

රට හමුවේ ඇති ප්‍රධානතම ප්‍රශ්නය ආපසු ණය ගෙවීම මිස ව්‍යවස්ථා සංශෝධන මඟින් විනිශ්චයකාරවරුන්ගේ කාලය දික් කිරීම හෝ අඩු වැඩි කිරීම නොවන බවත් මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත කතාබහක් නොවීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඔහු පවසන්නේ නියමිත පරිදි ණය ගෙවීමට නොහැකි වුවහොත් රට යළිත් බංකොලොත් වීමේ අවදානමක් පවතින බවත් ඊට මුහුණ දීමට නම් විදේශ ආදායම් පුළුල් කරගැනීම හෝ වෙළෙඳපොළෙන් විශාල වශයෙන් ඩොලර් මිලදී ගැනීම අත්‍යවශ්‍ය බවත්ය..

සියඹලාපිටියගේ කෘතියෙහි යුද්ධ දෙකක් ගැන සඳහන් වුවද ඉදිරියේදී පැමිණෙන්නේ වඩාත් බරපතළ තුන්වැනි ආර්ථික යුද්ධය බව පැවසූ රනිල් වික්‍රමසිංහ, තමන් හැමවිටම ගෙන එන්නේ අසුබ ආරංචි වුවද එම තුන්වැනි යුද්ධයෙන් ගොඩ ඒමට නොහැකි වුවහොත් මුළු රටම දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව අවධාරණය කළේය.

Author

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading