ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් පුද්ගලයින් 06 දෙනෙකු අනීතිකව සේවයට බඳවාගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ දූෂණ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) පෙරවරුවේ එම කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අදාළ නඩුවට අදාළව ඇප ලබාදීමට නියෝග කළේය.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව පවතින තවත් නඩුවකට අදාළව දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් කරුණු දැක්වීම මේ වන විටත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව වාර්තා වේ.
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළ නියමිත පටිපාටියෙන් බැහැරව සහ අනුමත කාර්ය මණ්ඩල සීමාවන් නොසලකා හිතවතුන් සේවයට බඳවා ගැනීමෙන් රජයේ මූල්‍ය ප්‍රතිපාදන අවභාවිත කළ බවට විගණන වාර්තා මඟින්ද කරුණු අනාවරණය වී තිබුණි.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රජයේ රෝහල් පද්ධතියට බෙදාහැරීමේ මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් පසු ඇප මත මුදාහරින ලදී.
අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව නඩු පැවරීම හේතුවෙන් මීට පෙර තාක්ෂණික දෝෂ මත නිශ්ප්‍රභ වූ නඩු ගොනු නැවත විවෘත කරමින් මෙම නඩු පැවරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණි.
